brand logo

දසුන් ලෝක කුසලානයක් උස්සනවා බලන්න ආසයි

10 August 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කවුරුත් ආදරය කරන ක්‍රීඩකයා ඔහුය. ක්‍රීඩාලෝලීන් ඔහුට ‘දස්සා’ යැයි නමක් පටබැඳ ඇත්තේද ඒකය. කණ්ඩායමේ නායකයා ලෙස ඔහු අන්තිම මොහොතේ හෝ උත්සාහ කරන්නේ තම කණ්ඩායම ජයග්‍රහණය කරවීමටය. ඒ වෙනුවෙන් විටෙක ඔහුගේ පිත්තෙන් ඇදීයන්නේ යෝධ හයේ පහරවල්ය. විටෙක ඔහුගේ පන්දුවට බිඳ වැටෙන්නේ ප්‍රතිවාදීන්ගේ තීරණාත්මක කඩුලුය. තවත් විටෙක ඔහු පිටිය සිසාරා පියඹා යන්නේ රැකගන්නට නොහැකි උඩපන්දු පවා රැකගන්නටය. ඒ වෙන කවුරුත් නොව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින සහ විස්සයි විස්ස නායක දසුන් ශානකය. එහෙත් මේ කතාබහ නම් දසුන් සමග නොව ඔහුගේ ආදරණීය බිරිඳ වන චෙවන්ති පෙරේරා සමගිනි. ඔබ දසුන් ශානකගේ ආදරණීය බිරිඳ. ඒ ගැන මොකද හිතෙන්නේ? ඇත්තටම දසුන්ගේ බිරිඳ වෙන්න මං වාසනාවන්ත වුණා. මොකද එයා මුළු ලංකාවම ආදරය කරන චරිතයක්. ඉතින් එහෙම කෙනෙක්ගේ බිරිඳ වෙන්න ලැබුණු එක ගැන ලොකු සතුටක් වගේම නිහතමානී ආඩම්බරයක් තියෙනවා. May be an image of 1 person දසුන්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා කරන හැම තරගයක්ම බලන්න ඔබ යනවද? ලංකාවේ ඇතුළේ තියෙන තරගයක් නම් ගොඩාක් වෙලාවට යනවා. පිටරටක වගේ නම් සමහර වෙලාවට යැවෙන්නේ නෑ. හැබැයි දසුන් ක්‍රීඩාකරන හැම තරගයක්ම වගේ බලන්න යන්න ආසයි. දසුන් ක්‍රීඩා කරපු තරග අතරින් ඔබට අමතකම නැති තරගයක් තියෙනවද? පසුගියදා නිමාවුණු ශ්‍රී ලංකා-ඔස්ට්‍රේලියා තරග මාලාවේ තුන්වෙනි විස්සයි විස්ස තරගය කවදාවත් අමතක වෙන්නේ නැතිවෙයි. ඒ තරගයේ තමයි එයා පන්දු 25 කදී ලකුණු 54ක් නොදැවී ගහලා අපේ කණ්ඩායම දිනෙව්වේ. වාසනාවකට වගේ මං එදා පල්ලෙකැලේ ගියා. ඉතින් දසුන්ගේ ඉනිම ඇස් දෙකෙන්ම බලන්න මටත් පුළුවන් වුණා. ඒක ගැන මට මාරම සතුටුයි. මොකද නිකන් හරි ඒ අවස්ථාව මට මගඇරුණා නම් ගොඩාක් දුක හිතෙන්න තිබුණා. දසුන් ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට නම් ගොඩාක් නිවුණු ක්‍රීඩකයෙක්. එයා ගෙදරදිත් එහෙමද? ක්‍රීඩකයෙක් විදිහට එයා නිවුණු චරිතයක් වුණාට ගෙදරදි නම් ටිකක් විතර සැරයි. මොකද ක්‍රීඩකයෙක් විදිහට එයා කරන්නේ එක භූමිකාවක්. ඒත් ගෙදරදි සැමියා විදිහට කරන්නේ තව භූමිකාවක්. ඒ භූමිකාව ඇතුළේ දසුන් පොඩ්ඩක් විතර ඉතින් සැරයි. හැබැයි ගොඩාක් හොඳයි. සාමාන්‍යයෙන් ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියන්නේ ගොඩාක් කාර්යබහුල කෙනෙක්. ඉතින් ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ බිරිඳක් විදිහට ඒක ඔබට දැනෙන්නේ කොහොමද? සමහර වෙලාවට ලොකු පාළුවක් දැනෙනවා. ඒත් එයා රට වෙනුවෙන් නේද සෙල්ලම් කරන්නේ කියලා හිතුණාම ඒ පාළුව නැතිවෙලා අහිංසක ආඩම්බරයක් හිතට එනවා. May be an image of 2 people බිරිඳ විදිහට ඔබ දසුන්ගේ දැකපු හොඳම ගුණාංගය මොකක්ද? දසුන් ගොඩාක් අයට උදව් කරනවා. යාළුවෙක් දෙයක් ඉල්ලුවත් දෙපාරක් හිතන්නේ නැතුව දෙනවා. එහෙම දීලා එයා ආපහු දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. එයා ගොඩාක් ආගම දහමටත් ලැදියි. ගෙදර ඉන්න දවස්වලට එහෙම ඔහු කරන්නේ මොනවද? එයාට ගොඩාක් වෙලාවට උදේ හවස පුහුණුවීම් තියෙනවා. ඒ අතර නිවාඩුවක් ලැබුණොත් අපි එළියට යනවා. ගෙදරම හිටියොත් නම් දසුන් පරණ මැච් එහෙම බලනවා. සැමියෙක් විදිහට දසුන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් ඔහුගේ කාර්යබහුල ජීවිතයත් එක්ක ඔහු අතින් ඉටුවෙනවද? සැමියෙක් විදිහට එයා සාර්ථකයි. දෙයක් කරන්න මගඇරුණොත් පස්සේ මතක් වුණාම ඒ වෙලාවේ හරි ඒක කරනවා. එයා වගේ කෙනෙක් ලැබෙන්න ඇත්තටම මං හරි වාසනාවන්තයි. දසුන් තරුණියන්ගේ දැඩි ආකර්ෂණයට ලක්වෙන ක්‍රීඩකයෙක්. ඔහුගේ බිරිඳ විදිහට ඒක ඔබට දැනෙන්නේ කොහොමද? දසුන්ගේ බිරිඳ විදිහට මං ඒ දිහා බලාගෙන ගොඩාක් සතුටු වෙනවා. මොකද එයා මගේ කියලා මං දන්නවා. ඉතින් මගේ මහත්තයාට එහෙම ආකර්ෂණයක් ලැබෙද්දි සතුටුයි. ඔබ හිතන විදිහට දසුන් ක්‍රීඩකයෙක් විදිහට පිටිය මැද කරන ලොකුම වරද මොකක්ද? එයා ටිකක් කලබලයි. ඒ කලබලේ නිසාම එයා සමහර වෙලාවට අවුට් වෙනවා. හැබැයි කලබලේ මැද අවුට් වෙන්න ගිහින් බේරුණොත් ආයෙත් දසුන්ව අවුට් කරනවා කියන්නේ බොරු. අනික තමයි දසුන් ලකුණු ගහපු නැති දවස්වලට ගොඩාක් දුක්වෙනවා. මට මීට වඩා දෙයක් ඒ තරගයේදි කරන්න තිබුණා කියලා මගෙත් එක්ක නිතරම කියනවා. May be an image of 2 people ඉදිරියේදී ලෝක කුසලානයක් එනවා. දසුන් ඒ ගැන ඔබත් එක්ක කතා කරලා නැද්ද? දසුන්ගේ ඊළඟ ඉලක්කය ඒක තමයි. එයා නිතරම කියනවා ලෝක කුසලානය නම් උපරිමයෙන් කරන්න ඕන කියලා. මං හිතනවා මෙදා පාර එයා ලෝක කුසලානයේදී එයාගේ කණ්ඩායමත් එක්ක ලොකු පෙරළියක් කරයි කියලා. අවසාන වශයෙන් දසුන්ගේ බිරිඳ විදිහට ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ දකින්න කැමතිම හීනයක් තියෙනවද? ඉදිරියේදී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය දසුන්ගේ නායකත්වයෙන් ජයග්‍රහණය කරනවා බලන්න මං ආසයි. මං විශ්වාස කරනවා ඒක එහෙම වෙයි කියලා. රුවන් එස්. සෙනෙවිරත්න Along with the fans, I also cried in joy till my throat sored | Sunday  ObserverDasun Shanaka Height, Weight, Age, Facts, Spouse, Education, BiographyAlong with the fans, I also cried in joy till my throat sored | Sunday  Observer
 

More News..