brand logo

දවස් හතරක් පුරා මම රැප් එක පාඩම් කරනවා

13 September 2021

කොණ්ඩේ නූඩ්ල්ස් කරපු රැප් කෙල්ල කියන කතාව

දිවිතුරාහි කොල්ලන්ගෙ හිතගිය කොණ්ඩේ නූඩ්ල්ස් වගේ තියෙන රැප් කෙල්ල රෙහානාට තිරයේ විතරක් නෙවෙයි තිරයෙන් පිටතදිත් ගොඩක් අය ආදරෙයිලු. ආදරය හිමිවීමත් ආදරය පිළිගැනීමත් ආදරය දරාගැනීමත් කියන්නෙ වාසනාවක්. සුධීක්ෂා සමාධි මේ ගත කරන්නෙත් එවන් වූ ආදරබර කාලයක්..

සූධීක්ෂාට දැන් ගොඩක් අය පෙම් කරනවලු නේද?

ඔව්, ඒක නම් මාරයි. ඇත්තම කිව්වොත් මට මගේ ජීවිතයේ වැඩියෙන්ම ප්‍රතිචාර ලැබුණ චරිතය තමයි රෙහානාගෙ චරිතය. හරිම සතුටුයි. මම පුළුවන් හැම අවස්ථාවකම ඉන්ස්ටර්ග්‍රෑම් එකෙන් ෆේස්බුක් එකෙන් රසික රසාකාවියන්ගෙගේ ප්‍රතිචාරවලට උත්තර දෙනවා. සමහර වෙලාවට අපේ අම්මා අහනව ඔයාට ඔය තරම් රසික රසිකාවියන් ඉන්නවද කියලත්. මට රසික රසිකාවියන්ගේ ආදරය දැනෙනවා. ඔවුන් ඒ ආදරය වෙනුවෙන් කියන කරන දේවල් දකිද්දී විඳිද්දී මිනිස්සුන්ට මේ තරම් ආදරයක් දෙන්න පුළුවන්ද කියලත් වෙලාවකට හිතෙනවා. සමහර අය ලියලා එවන දේවල් මම ස්ක්‍රීන් ෂොට් ගහලා තියාගන්නවා මතක සටහන් විදිහට. මොකද අපේ හැම කාලෙම මෙහෙම පවතින්නේ නැහැනෙ. මේ ජනප්‍රියත්වය මතු දවසක නැතිවෙලා ගියත් ඒ මතක සටහන් ඔස්සේ වයසට ගිහිනුත් මට මතක් කරන්න පුළුවන් වෙයි මට මිනිස්සු මේ තරම් ආදරය කළ සමයක් තිබුණා නේද කියලා. මට ඒක මාර වටිනව.

සුධීක්ෂාට රෙහානා ගැන මොකද හිතෙන්නෙ...

රෙහානා කියන්නේ වර්තමානයේ රියලටි ෂෝවල ජීවත් වෙන චරිතයක්. ඇය තමන්ගේ හීනය දිනාගන්න උත්සාහ කරන වගේම තමන් සමග තරග වැදෙන යාළුවට හරිම ලැදියි. රියලිටි ෂෝවල ඒ මානුෂීය පැත්ත නැහැනේ. හැමෝම උත්සාහ කරන්නේ අනෙකා පරයමින් ඉදිරියට යන්න. හැබැයි රෙහානා තමන්ගේ හීනය කරා යන ගමන් යෙහෙළිය වෙනුවෙනුත් පෙනී ඉන්නවා. ගොඩක් අය කරන චෝදනාවක්නේ දැන් පෙන්වන ටෙලි නාට්‍යවල හරයක් නැහැ, සමාජයට දෙන දෙයක් නැහැ කියන කාරණය. රියැලිටි ෂෝවල තරගය විතරක් නෙවෙයි මානුෂීය පැත්තකුත් තියෙන්න ඕන කියන දේ තමයි රෙහානා තුළින් මතුකරලා තියෙන්නේ.

සුධීක්ෂට ගායිකාවක ලෙස රඟන එක කෙසේ වුවත් රැප් ගයන එක ලේසි වුණාද?

අපි කවුරුත් සාමාන්‍ය ජීවිතයේ ගීත ගයනවනේ. ඒත් කවුරුවත් ලේසියෙන් රැප් එක්ක කියන්න උත්සාහ කරයි කියලා මම හිතන්නේ නැහැ. මමත් කවදාවත් ඒකට උත්සාහ කරලා නැහැ. ඒත් මේ නාට්‍ය නිසා දැන රැප් කියන දේ මගේ ජීවිතයේ කොටසක් වෙලා.

මේ චරිතය හරහා සුධීක්ෂාට රැප් ගයන්නත් අවස්ථාව හිමිවෙයි නේද?

අප්සි කියන රැප් ගායිකාව තමයි මගේ රංගනයට හඬ දෙන්නේ. නමුත් ගොඩක් අය හිතන්නේ මේ ගීතය ගයන්නෙත් මම කියලයි. මම ගායිකාව නොවුණට අනිවාර්යෙන් ෂූටින් තියන්න දවස් හතරකට පහකට කලින් මට රැප් එක එවනවා. ඒ ආවට පස්සෙ දවස් හතරක් පුරා මම රැප් එක පාඩම් කරනවා. මොකද ගීතයේ තියෙන වචනවලට මගේ තොල් චලනය වෙන නිසා ඒක හරිම සැලකිල්ලෙන් කරන්න වෙලා තියෙනවා. එහෙම නැතිවුණොත් චරිතය අසාර්ථක වෙනවා. ඒ නිසා එතැනදි මම අප්සි එක්කයි මෙම ගීතය සංගීතවත් කරන තිළිණ අයියටයි කතා කරලා හොඳ අවබෝධයක් අරගෙනයි රඟපාන්නේ. මොකද මම චරිතය රඟපෑවට මේ චරිතය මා හා ගායිකාව කියන දෙනොම එකට බද්ධ වෙලයි ගොඩනැගෙන්නේ.

ටෙලි රංගන ශිල්පීන්ට කොරෝනා අවදානම වැඩිවැඩියෙන් තියෙත්දිත් ෂූටින් යන්නෙ සතුටෙන්ද?

ලොකු අවදානම් අරගෙන වැඩකරන කාලයක් තමයි මේ ගෙවන්නේ. මේ වෙද්දි කලාකරුවන් බොහොමයකට කොරෝනා වැලඳිලා. එහෙමයි කියලා බයවෙලා අපිට වැඩේ අතාරින්න බැහැනේ. මේකෙන් සමහර කලාකරුවෝ ගැලවෙනවා, සමහර අය ඒ අවදානම අරගෙන වැඩ කරනවා. ඒත් ගෙදරටම වෙලා හිටියත් දෙයක් වෙන්න තියෙනවා නම් කොහොමත් වෙනවා.

සුධීක්ෂා කරමින් හිටිය රැකියාවටත් දැන් සමුදීලද?

නැහැ, මම තවමත් ට්‍රැවල් ඒජන්සියක ජ්‍යෙෂ්ඨ ගිණුම් සහායිකාවක් විදිහට වැඩ කරනවා. නමුත් පවතින තත්ත්වය යටතේ සංචාරක කර්මාන්තයේ අඩුවක් පවතින නිසා අපිව තාවකාලිකව නවත්වලා තියෙන්නේ. කොහොම වුණත් මම රැකියාව කරන තැනින් රංගනයට මට හොඳ සහයෝගයක් ලැබෙනවා. ඒ නිසා මට රඟපෑම වෘත්තීය වගේ කරගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේ දවස්වල මගේ රැකියාවේ කටයුතු තාවකාලිකව නතර වෙලා නිසා මම තාවකාලිකව සොෆ්ට්ලොජික් එකේ ජීවිත රක්ෂණ උපදේශිකාවක් විදිහටත් වැඩ කරගෙන යනවා.

ඔය තරම් ඉපැයීම් පැත්ත පසුපස හඹා යන්නෙ ඇයි...

මොකද මට යමක් කරන්නෙ නැතිව කාලය ගෙවෙද්දි මට හිතෙනවා අපරාදේ මගේ කාලය කියලා. මම උසස් පෙළ අවසන් කරනවත් සමගම මම රැකියාවට ආවා. අවුරුදු නවයක් මම මේ රැකියාවේ ඉන්නවා. ගෙවුණ කාලයටම මම කිසියම් දෙයක නිරත නොවී ගෙවා දමලම නැහැ. මේ කොරොන්ටයින් පීරියඩ් එකේ වුණත් මගේ කාලය නිකරුණේ කා දමන්න මම කැමති නැහැ.

සුධීක්ෂා එක වගේම චරිත රැල්ලක නේද ගහගෙන යන්නෙ...

මම ගොඩක් ආසයි වෙනස් චරිතයක් ඉදිරිපත් කරන්න. ඒත් මට ලැබුණෙ එකිනෙකට සමාන රැප් ගායිකාවගේ චරිතය කරන්න. කලින් මම රඟපෑවේ ගරාජ් එකක වැඩ කරන හිපොප් ඩාන්සර් කෙනෙක් විදිහට. මොක්කදෝ හේතුවකට මට තවම ගැමි චරිතයක් හම්බවෙලා නැහැ.

සුධීක්ෂා විවාහයක් කරගෙන ජීවිතේ වෙනසක් විදින්න සැලසුම් හදමින්ද ඉන්නෙ...

මම තවම නම් එහෙම දෙයක් ගැන හිතලවත් නැහැ. මම පොඩි කාලෙ ඉඳන්ම කලාවට ආදරෙයි. අපේ අම්මා මගේ පොඩි කාලෙ මගෙන් අහනවා ලොකුවෙලා මොකද කරන්නේ කියලා. ඉස්කොලේ මම නිතරම වේදිකා නාට්‍යවල රඟපෑවනේ. ඉතින් මම කියනවා මට නාට්‍යයක වැඩ කරන්න නැති වුණොත් ඒක අමාරුයි කියලා. ඒ තරම් කලාවත් එක්ක ලොකු ලැදියාවක් මට තියෙනවා. ඒ නිසා වෙන දේවල්වලට ඔළුව යනවා අඩුයි. හැබැයි අපි ජීවිතයේ හැම දෙයකටම යන්න ඕනෑ. ඒ නිසා විවාහයත් කෙරෙන්න ඕනෑ. විවාහ වෙන්න කියල ගෙදරිනුත් ලොකු බලපෑමක් නැති නිසා තවම නිදහසේ ඉන්නවා. ධම්මිකා සුරංජි පතිරණ
 

More News..