brand logo

දවසකට හරි පාර්ලිමේන්තු යන්න එස්.බී. එජාප ජාතික ලැයිස්තුව ඉල්ලයි

19 August 2020

2004 මහ මැතිවරණයෙන් පරාජයට පත් වූ එජාපය විපක්ෂයට ගිය අලුත එස්.බී. දිසානායක මන්ත්‍රීවරයාට එරෙහිව නඩුවක් පැවරුණේය. ඔහුට නැගුණු චෝදනාව වූයේ අධිකරණයට අපහාසයක් කෙරෙන අයුරින් ප්‍රකාශයක් කිරීමය. 2001-2004 එජාප ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස ඔහු සහභාගි වූ වප් මඟුල් උත්සවයක දී අධිකරණයට අපහාසයට ලක්වන අයුරින් කරන ලද ප්‍රකාශයක් එම නඩුවේ නිමිත්ත විය. එස්.බී. දිසානායක මන්ත්‍රීවරයාට එරෙහිව නැගී තිබුණු චෝදනාව බරපතළ වුව ද ඔහු එය සලකන ලද්දේ ඉතා සැහැල්ලුවටය. එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා එම නඩු නිමිත්ත සැහැල්ලුවට ලක් කරන්නට ඇත්තේ ඔහුට එරෙහිව ඊට පෙර පැවරී තිබූ එවැනිම චෝදනාවලින් සුළු දඬුවමක් ලබා නිදහස් වීමට හැකිවීම නිසා විය හැකිය. එජාප නායක රනිල් වික්‍රමසිංහ පවා කිහිප වතාවක් එම නඩු නිමිත්ත පිළිබඳව කිහිප වරක්ම අනතුරු අඟවා තිබුණ ද ඔහු ඒ කිසිවක් ගණන් නොගෙන තිබුණේය. එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා මුල සිටම අදහස් කළේ තමන් කළ වැරැද්ද පිළිගැනීමෙන් අධිකරණය ඊට පෙර වතාවල දී මෙන් තමන්ට සුළු දඬුවමක් ලබා දී නඩුව අවසන් කර දැමීමට ඉඩ ඇති බවය. ‘‘එස්.බී. ඔයා ඔය චෝදනා පිළිනොගෙන චැලේන්ජ් කරන්නැයි’’ කියමින් එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් දෙන ලද නීති උපදෙස් පවා නොපිළිගත් එස්.බී. දිසානායක මන්ත්‍ර්‍රීවරයා කටයුතු කළේ තමන්ගේ හිතුමනාපයටය. එහෙත් තමන්ට එරෙහිව නැගී තිබුණු අධිකරණයට අපහාස කිරී‍මේ චෝදනාව පිළිබඳව ඉතාමත් සැහැල්ලුවෙන් සැලකූ ඔහුට දෙලොව රත් වූයේ 2004 දෙසැම්බර් 07 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් දඬුවම පිළිබඳව ඇසීමෙන් පසුවය. ඒ අනුව එස්.බී. දිසානායක මන්ත්‍රීවරයාට අධිකරණයට අපහාස කිරීමට දඬුවම් ලෙස වසර දෙකක සිරදඬුවමක් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දී තිබුණේය. එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා එදින අධිකරණයට ගියේ සුළු දඬුවමක් ලබා ආපසු නිවසට පැමිණීමටය. එහෙත් අවසානයේ දී ඔහුට සිදු වූයේ වසර 2ක සිරදඬුවමකට යටත්ව සිරගෙදරට යාමටය. ඔහුගේ එම තීන්දුව ලබා දී තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වීම නිසා එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට පවා ඉඩක් නොතිබිණි. කෙසේ හෝ එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා සිරගත කරන ලද දිනට පසු දින එජාප නායක රනිල් වික්‍රමසිංහ ඔහුගේ සුවදුක් විමසීමට වැලිකඩ බන්ධනාගාරයට ගියේය. ඊට පසු දින එජාප මහ ලේකම් තිස්ස අත්තනායක ද ඔහුගේ සුවදුක් විමසීම සඳහා එහි ගොස් තිබිණි. සාමාන්‍යයෙන් ඕනෑම බන්ධනාගාරයක සිරකරුවන් හමුවීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දිවා කාලයේ ඕනෑම අවස්ථාවක හැකි වරප්‍රසාදය යටතේ තමන් බැලීමට යන සිරකරුවා රඳවා සිටින ස්ථානයටම ගොස් ඔහු හමුවීමට ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හැකිය. ඒ අනුව වැලිකඩ බන්ධනාගාරයේ එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා රඳවා සිටි සිරමැදිරියටම යාමට තිස්ස අත්තනායක මහතාට ද ඉඩ ලැබුණේය. ඒ වන විට එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා සිරමැදිරිය තුළ බිම දැමූ පරණ කොහු මෙට්ටයක නිදාගෙන සිටියේය. එම සිරමැදිරියේ අනෙක් සිරකරුවන් වූයේ ඇඹිලිපිටිය ශිෂ්‍ය ඝාතන සිද්ධියට සම්බන්ධ පිරිසකි. එස්.බී. දිසානායක මහතා නිදා සිටි පැරණි මෙට්ටයෙන් භූමිතෙල් ගඳක් වහනය වූ අතර ඒ පිළිබඳව ඔහු එජාප මහලේකම් තිස්ස අත්තනායකට පවසා ඇත්තේ ‘‘නෑ මල්ලි මෙතන කඩි විමානයක්. මම ජේලර් ගාඩ් කෙනෙකුට කියලා භූමිතෙල් ටිකක් ගෙන්නගෙන මෙට්ටය වටේට ඉහළ දැම්මා. ටිකක් හරි උන්ගෙන් බේරෙන්න. ඒ නිසයි භූමිතෙල් ගඳ එන්නේ.’’ කෙසේ වෙතත් ඒ මැදිරියේ හුන් සිරකරුවන්ගෙන් ඔහුට නොමඳ සහයක් ලැබී තිබුණේය. මේ අතර තවත් මාසයකින් අනතුරුව එජාප මහ ලේකම් තිස්ස අත්තනායක යළිත් වැලිකඩ බන්ධනාගාරයට ගියේ එස්.බී. දිසානායකගේ සුවදුක් විමසීමටය. එවර ඔහු තිස්ස අත්තනායක මහතාට පවසා තිබුණේ ‘‘මල්ලී මෙතන ඉන්න අයගෙන් නං මට ප්‍රශ්නයක් නෑ. ඒත් කෑම ගන්න එහෙම යන්න වෙන්නේ සේරමලා මැද්දෙන්. ඒ අය අතරේ ඉන්නවා කිසිම අණක් ගුණක් නැති අය. මට හිතෙනවා උන් මාව මරා දාන්නත් බැරි නෑ කියලා. ඉතින් මං මොනවද කරන්න ඕනේ මල්ලියේ?’’ එජාප මහ ලේකම්වරයා ඔහුට කීවේ ඒ පිළිබඳව කථානායකවරයාට ඉදිරිපත් කිරීමට ලිපියක් ලියා දෙන ලෙසය. කෙසේ වුවද ඉන් ටික දිනකට පසුව එස්.බී. දිසානායක මන්ත්‍රීවරයාට වැලඳුණු ඇස් රෝගයක් හේතුවෙන් ඔහු බන්ධනාගාර රෝහලට අතුළත් කරනු ලැබීම නිසා එම ප්‍රශ්නය යටපත් වූ අතර ඒ අනුව හිරෙන් නිදහස් වන තුරුම එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා සිටියේ බන්ධනාගාර රෝහල්ගතවය. එම කාලය වන විට එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා නිදහස් කරන ලෙස ඉල්ලා එජාපය දැවැන්ත උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී සිටියේය. එස්.බී. දිසානායකගේ ගම් ප්‍රදේශය වූ හඟුරන්කෙත සිට කිරි අම්මාවරුන් දහසකට ආසන්න පිරිසක් කොළඹට පා ගමනින් ආවාය. ඊට අමතරව එස්.බී. නිදහස් කරන ලෙස බල කරමින් රට පුරා විරෝධතා ව්‍යාපාර හා පෙළපාළි සංවිධානය කිරීමට ද එජාපය කටයුතු කළේය. එහෙත් එවක ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංග එජාපයේ විරෝධතාවන් පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකොට නිහඬව සිටියාය. ඒ වන විට එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා සිරගත කොට මාස අටකට ආසන්න කාලයක් ගත වී තබුණේය. සාමාන්‍ය සම්ප්‍රදායට අනුව යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු එතරම් කාලයක් පාර්ලිමේන්තුවට නොපැමිණ සිටින්නේ නම් වෙනත් මන්ත්‍රීවරයකුඔහු වෙනුවෙන් නිවාඩු ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටිය යුතුය. එසේ නොවුණහොත් සිදුවන්නේ නොකඩවා තෙමසක් අනුමැතියකින් තොරව පාර්ලිමේන්තුවට සහභාගි නොවන මන්ත්‍රීවරයකුගේ මන්ත්‍රී ධුරය අහෝසි වී යාමය. කෙසේ වෙතත් එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා වෙනුවෙන් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් නිවාඩු ඉල්ලා සිටීමට එජාපයේ කිසිදු මන්ත්‍රීවරයකු ඉදිරිපත් නොවීය. මේ අතර දිනක් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කළ ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා වසර දෙකක සිරදඬුවමකට යටත්ව බන්ධනාගාරගතව සිටිය දී ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි නොකරන්නේ කුමන හේතුවක් නිසා දැයි ප්‍රශ්න කර සිටියේය. ඒ වන විට එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට නොපැමිණ මාස 8කට ආසන්න කාලයක් ගත වී තිබුණේය. විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා මැතිවරණ කොමසාරිස්වරයාට ලිඛිතව දැනුම් දුන්නේ එස්.බී. දිසානායක මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී ධුරය අහෝසි වී ඇති බවය. ඒ අනුව 2004 මහ මැතිවරණ‍ය් දී නුවරඑළිය දිස්ත්‍රික් එජාප ලැයිස්තුවේ ඊළඟට මනාප ලබාගෙන සිටි රේණුකා හේරත් මහත්මිය පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයට පත් වූවාය. එස්.බී. දිසානායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වී ගියේ එජාපයේ කිසිදු මන්ත්‍රීවරයකු ඔහු වෙනුවෙන් නිවාඩු ඉල්ලා නොසිටීම නිසා යැයි ඒ දිනවල ඇතැම් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය තුළින් ප්‍රචාරය කෙරුණි. එහෙත් එහි සත්‍ය තත්ත්වය වූයේ එජාපය එස්.බී. දිසානායක මන්ත්‍රීවරයාට නිවාඩු ලබා දෙන ලෙස ඉල්ලීමක් කළේ නම් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ඒ සඳහා ඡන්ද විමසීමක් ඉල්ලා සිටින ලෙස ආණ්ඩු පක්ෂයේ එවක ප්‍රධාන සංවිධායක ධුරය ඉසිලූ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාට උපදෙස් ලබා දී තිබීමය. එවැනි යෝජනාවක් එජාපය ඉදිරිපත් නොකළේ බහුතර බලයක් තිබූ ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ ආණ්ඩුව එම යෝජනාව අනිවාර්යයෙන්ම පරාජය කරන බව එජාප නායක රනිල් වික්‍රමසිංහ අවබෝධ කරගෙන සිටීම නිසා බව එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මේ ලියුම්කරුට පැවසීය. එස්.බී. දිසානායක මන්ත්‍රීවරයාට නිවාඩු අනුමත කිරීම පිළිබඳව නියමිත කාලය පසු වී මාස 5කට ආසන්න කාලයක් ගත වී තිබුණ ද විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ප්‍රශ්න කිරීම හමුවේ එම ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ දී මතු වී තිබිණි. රත්නපුර දිස්ත්‍රික් පොදුජන පෙරමුණු මන්ත්‍රී නාලන්ද එල්ලාවල මහතාගේ ඝාතනය පිළිබඳව චෝදනා ලැබ රිමාන්ඩ් භාරයට පත්කොට සිටි එවක එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචි නිලමේට නිවාඩු අනුමත කරන ලෙස එජාපය ඔහු වෙනුවෙන් ඉල්ලීමක් කළ විට එවක පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ඉසිලූ රිචඩ් පතිරණ මහතා ඊට විරුද්ධත්වය පළ කළේ ඡන්ද විමසීමක් සිදු කළේ නම් එවක ආණ්ඩුවේ බහුතර බලය එම පක්ෂයට තිබූ නිසාය. මේ අතර 2005 ජනාධිපතිවරණ‍යෙන් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් වී‍මන් පසු තමාට විශේෂ සමාවක් ලබා දෙනු ඇතැයි එස්.බී. දිසානායක මහතා විශ්වාසය පළ කළ ද බලයට පත්වී‍මෙන් පසු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද ඒ පිළිබඳව නිහඬ පිළිවෙතක් අනුගමනය කළේය. එජාපය විසින් කොළඹ ඇතුළු දිවයින පුරා එස්.බී. දිසානායක නිදහස් කරන ලෙස ගෙන ගිය දැවැන්ත ජනතා උද්ඝෝෂණ හා අඛණ්ඩ සත්‍යග්‍රහ නොතකා හැරීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබුණේය. ඒ අනුව එස්.බී. දිසානායක මහතාට ජනාධිපති සමාවක් ලබා දී ඔහු නිදහස් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ තීරණය කළේය. එහෙත් ඒ වන විට එස්.බී. දිසානායකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පනවා තිබූ සිරදඬුවම ගෙවී යාමට තිබුණේ කෙටි කාලයක්ය. එස්.බී. දිසානායක සිර ගෙදරින් නිදහස් වුව ද ඔහුගේ ප්‍රජා අයිතිය පිළිබඳව මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ විවිධ මත පැතිරෙමින් තිබුණේය. එසේ වූයේ එස්.බී. දිසානායක වසර දෙකකට සිරගත වීමේ හේතුව මත ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි වී ඇති බවට ඇතමුන් තුළ බලවත් සැකයක් හටගෙන තිබූ නිසාය. යම් හෙයකින් එස්.බී. දිසානායකගේ ප්‍රජා අයිතිය අහෝසි වී ගොස් ඇත්නම් මින් ඉදිරියට පැවැත්වෙන කිසිදු මැතිවරණයකට ඉදිරිපත් වීමට නොහැකි බවටත් එවැනි අයකුගේ නම ඇතුළත්ව ඉදිරිපත් කෙරෙන නාමයෝජනා ලැයිස්තුව ද අවලංගු වී යාමට හේතුවක් විය හැකි බවට එකල දේශපාලන ක්ෂේත්‍රය තුළ සාකච්ඡාවක් මතු වී තිබුණේය. එස්.බී. දිසානායක තුළ ද එම සැකය මතු වී තිබූ හෙයින් තමුන්ට එක සතියකට හෝ එජාප ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් වීමට ඉඩ ලබා දෙන ලෙසට ද එජාපයෙන් ඉල්ලීමක් කර තිබුණේය. ඒ වන විට 2004 දී එජාපයෙන් පාර්ලිමේන්තුවට පත් වී සිටි ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් අතුරින් කේ.එන්. චොක්සි මහතා හැර සෙසු මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයට සම්බන්ධ වී සිටියේය. එස්.බී. දිසානායක එජාපයෙන් කර ඇති ඉල්ලීම පිළිබඳව එජාප නායක රනිල් වික්‍රමසිංහ ඉතිරිව සිටි එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී කේ.එන්. චොක්සි මහතා සමග කරන ලද සාකච්ඡාවක දී සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමට චොක්සි මහතා එකඟ නොවීම නිසා එජාප නායකයා එස්.බී. දිසානායක හමුවේ ‘‘එස්.බී. ඔයාට පුළුවන් නම් මන්ත්‍රී ධුරය ගැන චොක්සිත් එක්ක කතා කරන්න. සමහර විට ඔයා චොක්සිගෙන් ඉල්ලීමක් කළොත් කැමැති වෙන්නත් පුළුවන්. මට නං එයාට කිසිම බලකිරීමක් කරන්න බෑ.’’ කියමින් එජාප නායකයා එස්.බී. දිසානායක වෙතම බෝලය පාස් කළේය. ඒ අනුව ඔහු චොක්සි මහතා හමුවීමට ගොස් අවම වශ‍යෙන් එක් දවසකට හෝ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් පාර්ලිමේන්තුවට යාමට ඉඩ දෙන ලෙස ඉල්ලීමක් කරනු ලැබුව ද ඔහු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් එක් දවසකට හෝ ඉවත් වීමට තමාගේ කිසිදු අදහසක් නොමැති බව ප්‍රකාශ කර තිබුණේය. එම නිසා එස්.බී. දිසානායකට සිදු වූයේ එජාපයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට යාමට තිබූ අදහස ඉවත් කර ගැනීමටය. රංජිත් ගුණවර්ධන
 

More News..