brand logo

දවසකට කෑම ටොන් 5000 ක් ඉවතට

08 February 2020

මෙරට ජනතාව දිනකට ආහාර ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 5000 ක් ඉවත දමන බව පරිසර හා වනජීවි අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂිකා සුජීවා ප්‍රනාන්දු පැවසුවාය. ඇතැම් විදේශීය රටවල්වල ආහාරයට ගන්නා දේවල් ඉවත දැමුවහොත් දඩයක් පවා නියම කරන බවද ඇය කීවාය. පරිසර යුක්ති කේන්ද්‍රය විසින් කොළඹදී පවත්වන ලද වැඩමුළුවකදී ඇය මේ බව කීවාය. ලංකාව පුරා දිනකට මෙට්‍රික් ටොන් 9810 ක කසළ එකතු වන බවත් මෙම ප්‍රමාණයෙන් පළාත් පාලන ආයතන විසින් එකතු කරනු ලබන්නේ මෙට්‍රික් ටොන් 3667 ක් පමණක් බවද ඇය පැවසුවාය. එක දිනකදී මෙරට පරිසර පද්ධතියට ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් 400 ක් බැහැර කෙරෙන බවත්, කසළ කළමනාකරණය කිරීම සඳහා සියලුම පුද්ගලයින්ට වගකීමක් තිබෙන බවද සහකාර අධ්‍යක්ෂකවරිය කීවාය. බාහිර පරිසර පද්ධතියට එකතු වන ඝන අපද්‍රව්‍යවලින් සියයට විස්සක්, තිහක් පමණ ඇත්තේ ඇසුරුම් දවටන බවද, වසරකදී ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 20,000 ක් පරිසරයට බැහැර කෙරෙන බවත්, ඉන් මෙට්‍රික් ටොන් 8000 ක් ප්‍රතිචක්‍රීයකරණය සඳහා පිටරට යවන බවද ඇය සඳහන් කළාය. සාලිය කුමාර ගුණසේකර
 

More News..