brand logo

දවල් කෑමට ආණ්ඩුවේ බෝඩිමට එන  රස්තියාදුකාරයෝ

03 September 2019

පාලං   බෝක්කු උඩට වී  පාරේ යන එන උන් දිහා බලමින්  දවසේ  වැඩිහරියක්  මහ පාරේම   ගතකොට  කෑමට  ගෙදර එන  විසේකාර  කොලු නඩ , කවුරුත් පාහේ  හැඳින්වූයේ   රස්තියාදුකාරයෝ  කියලාය. මා , මේ කියන  රස්තියාදුකාරයින්  වැඩි පුරම  ඉන්නේ   නගරයේ  උසට  උසේ  ඇති  ලයිට් කණු උඩය.  ටවුන්  හෝල්,  කොළඹ  හුනුපිටියේ  ගංගාරාමේ, ජ’පුර කෝට්ටේ  ,බෙල්ලන්තර  සහ අත්තිඩිය  මේ  අය  රස්තියාදු ගහන   තැන්ය. වැඩි මහන්සියක්  නැතිව , දවස  පුරා   කාලය කමින් සිට , දවාලට   බඩකට   පුරවාගන්නා  හැටි   මේ රස්තියාදුකාරයින්ගේ  ජානවලම  ලියැවී තිබේ.  එසේ  කියන්නේ  අහම්බෙන් වාගේ  දෙහිවල  සත්තු වත්තේදී  මුණ  ගැහුණු  මේ  සියලුම  රස්තියාදු කාරයින්ගේ  මහ බාප්පෝච්චි  හෙවත් කේ. ජී. සුගතදාස  නිසාය. එකදාස්  නමසිය  හැත්තෑ අටේදී  දෙහිවල  සත්තු  වත්තේ අධ්‍යක්ෂවරයා  වූ  ලීන් ද  අල්විස් මහතාගේ නියෝග  මත මොල්ලිගොඩ මහතාගේ   ප්‍රධානත්වයෙන් කේ.ජී සුගතදාස සමග , ආර්. ඒ. බී.  පෙරේරා සහ  සුමනදාසද  සතුන්   ගෙන ඒමට  විශේෂයෙන්  සකස් කළ  ලොරි බාගෙක නැගී  නැගෙනහිර  කුමන අභය භුමිය   කරා පිටත් වුණේ  ලොකු වැඩකටය .  දෙමාපියන් පලවාහැර  දරුපැටව්  දහදෙනෙක්   ඉස්සීම  එවකට  විසි දෙහැවිරිදි  වියේ  පසු වූ කේ.ජී.  සුගතදාසට  හිතූතරම්   ලේසි නොවූයේ ,  ඔහුට  කුමන කැලේ  මහ රූස්ස ගස්වලට  බඩගා යාමට  සිදුවූ  නිසාය. මේ  නඩය මීට  වසර  41 කට පෙර  එලෙස  දෙහිවල  සත්තු වත්තට   රැගෙන ආ ස්පූන්  බීට්  පෙලිකන්  නොහොත්  පැස්තුඩුවන්  දස දෙනා  වනාහී ,  අද  දවසේ ඔබ  දකින  යෝධ පැස් තුඩුවන්ගේ  මී මුත්තෝය. රටක්  රාජ්‍යයක්   ලැබූ  තරම්  සතුටින්  ඉපිල ගිය  සත්තුවත්තේලීන් ද අල්විස් මහතා මේ අය   රිමාන්ඩ්  කිරීමට  පෙර  අද කාලේ  VIP  හොරුන්ට  මහ උළු ගෙදර  සලකන  විදිහටම   සත්තු වත්තේ  ඉස්පිරිතාලෙ නිරෝධායන  කුටියක  සති  හයක පමණ කාලයක්  රදවා  තබාගත්තේය. පෙර  දවස  එනම්  1958 දී  අතහැර  දමන ලද   ,අදටත්   ගල්වළ  යනුවෙන්  හඳුන්වන ගල් කොරියක්   මේ  ප්‍රදේශයේ  ඇත . වෙනසකට  ඇත්තේ   මේ  ගල්වල  අද  විවිධ  වර්ගවල  ජලජ  පක්ෂීන්හට  ආලකමන්දාවක් වැනිවූ ,අතු  පතර විහිදීගිය  වනස්පතීන්ගෙන්  සමන්විත  සිසිල  සේම  සෙවණද ගෙන දෙන  මහ  ජලාශයක්  බවට  පරිවර්තනය වී තිබීමයි. ඒ සියල්ල   ලින් ද  අල්විස්  නම්   රාජ්‍ය නිලධාරියාගේ  දූරදර්ශී   නුවණේ  මහිමාලෝකයයි. ඒ  කාලයේ  එනම්   හැත්තෑව දශකයේ  රටේ  සෑම ස්ථරයකම  පාහේ  සිටියේ  ගුණ නුවණින් පිරිපුන්   මිනිස්සුය. ගමයා  ගොඩයා වුණත් , කවුන්සිලයේ  මැති ,ඇමැත්තෙක් වුණත් උන්  හැමකෙක් තුළම  මනුස්සයෙක්  ජීවත්වුණේ  මේ කාලයේය. ඇමැතිවරුන්ගේ විෂයයන් අද මෙන් විද්‍යාත්මක පදනම් මත වෙන් කිරීමක් එදා සිදු නොවූ නිසා  ගාල්ලේ  විජයානන්ද දහනායක මහතා  රුහුණු කුමාරියෙන්  කවුන්සිලයට යද්දී  ලින් ද අල්විස්   මහතාට  වනජීවී  අධ්‍යක්ෂකම සේම  සත්තු වත්තේ  අධ්‍යක්ෂකමත් ලැබීණේය.   මේ අතර , කුමනින්   සුගතදාසලා ,සුමනදාසලා  ගෙන ආ  පැස්තුඩුවන් , හොඳින්  වැඩුණු පසු,   ජෝඩු 5  ක්  පාර්ලිමේන්තුව  අවට  ප්‍රදේශයකටත් ,තවත්  ජෝඩු  5  දළදා මාලිගාව   සමීපයේ  නුවර  වැව  සීමාවටත්  ගෙන  ගොස්   මුදා හරින  ලදී.   එතැන් සිට   කොළොම්තොට  නිජබිම  කරගත්  පැස්තුඩු  පරම්පරාවක්  බිහිවීම  ආරම්භ  විය.  ගෙන්දගම්  පොළොවේ  ඉපදුනු  මේ  අයියලාද , කොළඹ  හයිරන් පාට් අඩු නැතුව   ඉගෙනගෙන  වාගේ ය.  අපිව  ගෙනත්  හැදුවනං  අනං  මනං  නැතුව  අපිට  කන්ඩ  දියල්ලා යැයි  කියන්නා සේ ,සැමදාම  ප.ව 2.30  වෙන විට . සත්තු වත්තට  ඉහළ   අහසට   වලාකුළක් ආවා සේ  150 ත් ,200 ත්  අතර  පැස්තුඩුවන් ප්‍රමාණයක් එක්වේ. අනතුරුව සතුන්ට  ආහාර  බෙදන  ට්‍රැක්ටරයේ ට්‍රේලරය  මතට කඩා පාත්වන්නේය. සත්තුවත්තේ  වත්මන්  අධ්‍යක්ෂිකා  ධම්මිකා මල්සිංහ  මහත්මිය  ද , මුවින් නොබැණම  මේ  හයිරන්කාරයින්ට  මදි නොකියන්න  හැමදාම සලකනු ලබයි .  ඒ  සඳහා  දිනපතාම  වැව්මාළු ( තිලාපියා)  කිලෝ 50 ක්ම  රස්තියාදුකාර   පැස්තුඩුවන්ට බෙදා  දෙන්නේ , මහ ගෙදරට  ආ  දරුවන්ට  සලකන  අම්මා කෙනෙක්   වාගේ ය. ඉකුත්  21දා  ලියුම්කරු ,රුපවාහිනියේ  කීර්ති ජයලත් ද  ,සමග   ධම්මිකා මල්සිංහ  මහත්මියගේ  කාරුණික  අවසරය  මත  කොළඹ  සත්තුන්ගේ   බෝඩිමට  ගියේ  ,දවල් කෑමට  අහසින් පාත්වන  සියගණනක් වූ  පෙලිකන්  කුරුල්ලන්   ගේ  ඉහතකී වික්‍රමයන් පියවි දෑසින්ම  දැක බලා ගැනීමටය.   උදෑසන  ඇද හැලුණු   වරුසාවත් ,අහසේ  අඳුරු ස්වභාවයත්  අපව  කනස්සල්ලට  පත් කළමුත් ,  පස්වරු   දෙක පමණ වන විට  අඳුර පලවාහැර  හිරු සිනාසෙන්නට  වුයේ  අපට  මහත්  අස්වැසිල්ලක්  ගෙනඑමින්ය. ඒ වන විට  අප හා සමග  සත්තු වත්තේ  උද්‍යාන  පාලක , නඳුන් ඇතුලත්මුදලි,  අධ්‍යාපන හා  පර්ෙ ය්ෂණ  නිලධාරී  මේනක  පතිරගේ   සමග  සන්නිවේදන  කාර්යමණ්ඩල  නිලධාරී නලින්ද  ජයලත්  යන  මහත්වරුද  අප  හා  දොඩමලු වෙමින්  පැස්තුඩුවන්ගේ   ආ ගිය  තොරතුරු  සේම  රස කතාද  කියමින්   සිටියහ.  ඒ  සමගම අපට  ඇසුණේ  ට්‍රැක්ටරයක්  පණ ගන්වන  හඬය . ඊළඟ නිමේෂයේදී  අපට  උන්හිටි තැන් පවා අමතක වූයේ  කෆීර් යානා සමුහයක් එකවර  සතුරු  ඉලක්කයන්  වෙත පාත්වූවාසේ  කඩා පත්වුණු  පෙලිකන්  නොහොත්  පැස්තුඩු  හමුදාව   නිසාය. වීල් බැරෝවක් වැනි  පැස්තුඩු කට  අමුතුම  නිර්මාණයකි . කටට   එකවර මාළු කූරි දෙතුන් දෙනෙකු වූවද  ගෙන  රඳවා  තබාගත හැකි  මල්ලක් ඌට   ඇත . සත්තු වත්තේ  සේවක මහතුන්  මෙන්ම  සත්තු වත්ත  නැරඹීමට  පැමිණි පාසල්   සිසුන්ද  පැස්තුඩුවන්ට  මෙලෙස  දිවා ආහාරය  පිළිගැන්වීමට දායක වූහ.    උද්‍යාන පාලක නඳුන්  ඇතුලත්මුදලි මහතා කීවේ  සෑම වසරකම  පෙබරිවාරි මාසයේදී   පැස්තුඩුවන්  බිත්තර  රකින බවය. ඒ  අතර  ඔහු කියූ තවත්  කතාවක් වූයේ   පාරිසරික දූෂණය  නිසා  දැන් දැන්  පැස්තුඩුවන්ගේ බිත්තර  කටුව ඉතා තුනී   වෙමින් පවතින බවය. මේ නිසා පැටවුන්  බෝ වීම  අඩු වෙමින් පවතී.  පැටවුන්   බිහිවූ පසු   පැස්තුඩුවන් ,උන්ව   පෝෂණය  කරන අයුරුද  කදිමය .මව්  පැස්තුඩුවා  තමා ගිලින මාළුවා  පසුව  වමාරා  ජූස් එකක්  ආකාරයට  පැටවා  ලොකුවන තෙක් පොවන බව අපට කීවේ  නඳුන් ඇතුලත්මුදලි  මහතාය. කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය සම්පත් සෙනෙවිරත්න කියන්නේ ලංකාවේ වෙසෙන ලොකුම පක්ෂීන් කීප දෙනාගෙන් පැස්තුඩුවාද එකෙක් කියාය. අළු පැස්තුඩුවා Spot billed Pelican හෝ Grey Pelican නමින් හඳුන්වන අතර විද්‍යාත්මකව Pelecanus Phillipensis නමින් හඳුන්වයි. ලංකාවට ආවේණික නොවන, සංචාරක පක්‍ෂියෙක් ද නොවන මොවුන්, වසර පුරා ලංකාව නිජබිම කරගත් අපේම දේශීය පක්‍ෂීන්ය. කිලෝ 6 ක් පමණ බරැති, අඩි හතහමාරක් පමණ පියාපත් විහිදුමක් (wing span) ඇති මෙම පක්‍ෂියා ලංකාවේ වෙසෙන විශාලතම පක්‍ෂීන් කිහිප දෙනාගෙන් කෙනෙකි. විශාලත්වය නිසාම ලොව අන් රටවලදී කුරුරු ලෙස ඝාතනය වන මෙම පැස්තුඩුවන් ලංකාවේදී ඉතා නිදහසේ ජීවත් වන්නේ අපගේ පරිසර හිතකාමී අක්මුල් නිසාමය. පැස්තුඩුවන්ට ලංකාව අභය භූමියකි. අප ජාතියේ පරිසර හිතවාදී, සංහිඳියාවේ සංකේතය කොළඹ නගරයේ නිදැල්ලේ සරණ මේ රස්තියාදුකාරයාය.අපේ  කතා  බහ  යන  අතරේ,පොර කමින්  උඩ පනිමින්  වැව මාළු  කිලෝ පනහටම  වග කී   පැස්තුඩු සමූහයා ඉන් පසු  අප්‍රමාණ වූ  සොම්නසින්  ලින්  ද  අල්විස්  මහතා   නිර්මාණය කළ  මහා ජලාශයේ  ඔබ  මොබ  පිහිනා යමින් තවත් විනාඩි 15 හෝ 20   ගතකරන්නට  ඇත .  ඉන් පසු  උන්  කණ්ඩායම්  වශයෙන්  ජලාශයේ  දකුණු  ඉවුරු  මායිම  දෙසට පිහිනා යනු  අපි බලා සිටියෙමු.  ඉන් පසුව  යළි උතුරු  දෙසට  මඳ  දුරක් පිහිනාගොස්  මේ  රස්තියාදුකාර  නඩේ , එක  වරම   අහසට  පියාඹා  ගියේ   හරියට  අහස් යානා සමූහයක් වගේය. අප ඇසින්  දුටු , ස්වභාව ධර්මයේ   චමත්කාරය  කොයි තරම් නම් අපූරුද ,  සුහුරු  ජංගම  දුරකතනයට  ඇඟිල්ල  ඔබ ඔබා   සයිබර්  අවකාශයේ  නන්නත්තාරවී  සිටින  අපේ දූ දරුවන් ගේ ,  ඇස් මානයෙන්   වහං වී යන  ස්වභාවධර්මයේ  ආශ්චර්යය  එක වරක් හෝ  මෙලෙස  විඳගන්නට  මේ   පාසල් නිවාඩුව  නිම වීමට පෙර  එකම  එක දවසක් හෝ  ඔබත්  අප මෙන්ම ,  දවල්  කෑමට  මහ ගෙදරට  එන  නගරයේ  රස්තියාදුකාර  පැස්තුඩුවන් සමීපයටම  යන්න. එක දවසක්  ආවොත්   ආයිත්  ඔබ ඒවි. ජයන්ත  විජේසිංහ ඡායාරූප  - කීර්ති  ජයලත්
 

More News..