brand logo

දවල්ට නයිටිය ඇන්දොත් දඩය දෙදාහයි

11 December 2018

1930 වනවිට හොලිවුඩ් සිනමාවේදී මෙම ගවුමට ඉතා විචිත්‍රබවක් ගෙනදී ඇත. සිල්ක් ගවුම පැමිණෙන්නේ මෙම කාලයේදී වන අතර, ඊට පිහාටු අල්ලා සහ ලේස් එක්කොට අලංකාරව නිර්මාණය කරගෙන ඇත. හොලිවුඩ්වල ඇතිවූ මෙම විපර්යාසය, රාත්‍රී නිදන ඇඳුමට බලපෑම් ඇති කළේය. පවුල් ජිවිත අවුල් වීමටද නිදන ඇඳුම බලපාන්නේ යැයි වරක් මෙරට මහාචාර්යවරයකු පවසා තිබුණි. ඔහු මෙම රෑ ඇඳුම ඇඟලා ගෙන සිටින කාන්තාව හුචක්කුවක් ලෙස හැඳින්වූයේ ද උදේ සිට සවස් වනතුරු රෑ ඇඳුම ඇඟලාගෙන සිටිනු බහුලව දැකිය හැකි නිසා විය යුතුය. නිදන ඇඳුමක් අැඟලාගෙන සිටීම ඉන්දීය රුපියල් දෙදාහක දඩයකට යටත් වීමට තරම් කාරණයකැයි කිවහොත් ඉන් කාන්තා ඔබ තිගැස්සෙනු නොඅනුමානය. ඊට හේතුව නම් කාන්තාවන් රාත්‍රි නිදන ඇඳුම හෙවත් නයිටියට දක්වන ලැදියාව සහ කැමැත්තයි. මෙම කැමැත්තට දිවා රෑ කියා වෙනසක් නැති අතර, දිවා කාලයේ, නයිටිය ඇඟලාගෙන සිටින කාන්තාවන්ට තරු පෙන්වන්නට දකුණු ඉන්දියාවේ වැඩිහිටි සංගමයක් තීරණය කර ඇත. අන්ද්‍රා ප්‍රාන්තයට අයත් ටොකලාපල්ලේ ගම්මානයේ ජීවත් වන සියලු කාන්තාවන්ට මෙම නියෝගය අදාළය. එහිදී වැඩිහිටි සංගමය පෙන්වා දෙන්නේ නිදන ඇඳුම ඇත්තේ රාත්‍රියේ ඇඳගෙන නිදා ගන්නට මිස දිවා කාලයේ ඇඳගෙන එහෙ මෙහේ ඇවිදීමට නොවන බවයි. ටොකලාපල්ලේ ගම්මානය ගත් විට එම වැසියන්ගේ ජීවනෝපාය ගොවිතැනයි. බොහෝ කාන්තාවෝ සැමියාගේ කටයුතුවලට සහය දැක්වීම සිදු වේ. එහෙත් කාන්තාවන් මේ වැඩවලට සහය දෙන්නට යන්නේ නයිටිය පිටින් වීම ගම්මානයේ බොහෝ දෙනකුට ගැටලුවක්. නිදන ඇඳුමකින් නිවසින් බැහැරට යාම, සංස්කෘතියට සදාචාරයට ඔබින්නේ නැතැයි බොහෝ දෙනෙක් පැවසූහ. ​එමෙන්ම නිදන ඇඳුම දුහුල්ය. ශරීර අංගෝපාංග මතුවී පෙනෙන්නට වීම නිසා කාන්තාවන්ට සිදුවිය හැකි අකටයුතුකම්ද මෙම තීරණයට බලපෑමක් වී ඇත. මෙය අද වන විට එම ප්‍රදේශ​යේ කාන්තාවන් හා නයිටිය අතර ආන්දෝලනයක් ඇති කරන්නට සමත් වී ඇත. ‘‘මේක අපිට පහසු ඇඳුම. ඇඟේ ප්‍රමාණෙට වඩා මේ ඇඳුම විශාලයි. අශෝභන නැහැ.’’ මෙවැනි තර්ක මතුවුවත්, ටොකලාපල්ලේ ගම්මානයේ වැඩිහිටි සංගම් ප්‍රධානියාට එම කාරණා වැදගත් නැත. වැඩිහිටි සංගමයේ ප්‍රධානියාද කාන්තාවකි. ඇය කියා සිටියේ උදෑසන හතේ සිට රාත්‍රි හත අතර කාලයේ කිසිදු කාන්තාවක් නයිටියකින් සැරසී සිටීම උචිත නොවන බවයි. නයිටිය ඉන්දියාව, ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවල පමණක්, නොව ලොව සතර දිග්බාගයේම කාන්තාවන් අතර ජනප්‍රියය.. මෙය ශරීරයේ හැඩයටම නොව තරමක විශාලත්වයෙන් යුතුව මසා නිම කර තිබේ. මේ සඳහා යොදා ගැනෙන්නේ පහසු සිනිදු කපු හෝ ලිනන් ආදී රෙදි වර්ගයක් වන අතර, ඒ ඒ රටවල දේශගුණික තත්ත්වය අනුව රෙදි වර්ගය තෝරාගැනීම සිදුවේ. මෙම පහසු නිදන ඇඳුම මෙතරම් ආන්දෝලනයක් ඇති කළේ කුමක් නිසාද? රාත්‍රියේ සුව පහසු නින්දක් මෙන්ම, ලිංගික උත්කර්ෂයක් මතු කිරීමේ හැකියාවද, මේ ඇඳුම තුළ නැතැයි කිව නොහැකිය. එය එකිනෙකාට පෞද්ගලික කාරණාවක් වන අතර, නයිටිය දවස පුරා ඇඳගෙන සිටීම, එය ඇඳගෙන කඩපිලට යෑම, අමුත්තන් ඉදිරියේ ගැවසීම කොතරම් උචිතද යන්න කාන්තාව තම මට්ටමින් සිතා බැලිය යුතුය. නයිටිය තියෙන්නේ රාත්‍රියේ පමණක් අඳින්නට යැයි, කියන වැඩිහිටි සංවිධානයේ මතය ඉවතලන රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ, කාන්තාවගේ ඇඳුම පිළිබඳ තීරණය කිරීමට පිට අයෙකුට අයිතියක් නොමැති බවයි. කැමැති ඇඳුමක් ඇඳීමේ අයිතිය කාන්තාවට ඇති බවත්, එය නිවසට අඳිනවාද, පිටතට අඳිනවාද යන්න තීරණය කිරීමේ හැකියාව කාන්තාවට හිමිවිය යුතු බවත් ඔවුහු පෙන්වා දෙති. ලොවක් වසඟ කළද, අද වන විට නයිටිය ගැන අපේ රටේද ඇත්තේ තරමක ආන්දෝලනාත්මක කතාබහකි. ඒ ගැන සොයා බලන්නට ප්‍රථම, නයිටියේ උපත කෙබඳු අයුරින් සිදුවී ඇද්දැයි විමසා බැලීම වැදගත් වේ. නයිටිය ගැන වික්​​ටෝරියානු යුගයට පෙර අසන්නට ලැබුණු බවක් හමු නොවේ. එනම් ඊට ප්‍රථම කාන්තාවන් රාත්‍රි නින්දට ගොස් ඇත්තේ දිවා කාලයේ ඇඳගෙන සිටි ඇඳුමෙනි. රාත්‍රි නිදන ඇඳුමක් පිළිබඳ සංකල්පයක් හෝ එකල නොතිබුණු බව කියවේ. වික්ටෝරියානු යුගයේදීද පළමුව කලඑළි බසින්නේ Levish Looking Gowns Were නම් ගවුම් වර්ගයකි. එය 19 වන ශතවර්ෂයේ සීමිත පිරිසක් අතර ප්‍රචලිත විය. එය සීමාවූයේ සල්ලිකාර, නම්බුකාර ප්‍රභූ පෙලැන්තියට පමණි. එම යුගයේදී රාත්‍රී නිදන ඇඳුම් දෙකක් පැවතියේ නම් හේ සෑහෙන සමාජ තත්ත්වයක් සහිත අයෙකි. ඇතැමුන් එකල ඇති හැකිකම මැන්නේද නයිට් ගවුමෙනි. එකල මෙය ඇන්දේ උත්සව අවස්ථාවන් සඳහායි. එම ඇඳුම අලංකාරවත් මෝස්තරයෙන් යුතු මෙන්ම පිටතදී උණුසුම ආරක්ෂා වන පරිදි සකසාගෙන තිබුණි. එහි වූ එක් මෝස්තරයක් වූයේ සිනිදු ලේස් ආකාරයේ රෙදි යොදා ගනිමින්, විලුඹ දක්වා දිගට, ගවුම මසා ගැනීමයි. උත්සව අවස්ථාව අනුව මෙම ඇඟලුම එකල භාවිතා වී ඇත. සරල සහ සිත්ගන්නාසුලු මල් මෝස්තරයන්ද ඇතුළත් මෙම ඇඳුම වික්ටෝරියානු රාත්‍රි ඇඳුම ලෙස එකල හඳුන්වනු ලැබිණි. පසුකාලීනව මංගල උත්සවවලදී මධුසමය සඳහා පිටත්ව යන අවස්ථාවට යොදාගන්නා ඇඳුම් මෝස්තරය නිර්මාණය වීමටද එම වික්ටෝරියානු ඇඳුමේ ආකෘතිය බලපා ඇත. 1920 පමණ වනවිට මෙම ගවුමට වෙනස්කම් රැසක් එක්විය. ඒ වන විටද මෙය සැලකුවේ නිදන ගවුමක් ලෙස නො​වේ. ප්‍රභූ පවුල්වල කාන්තාවන් දිවා කාලයේදී මෙම ඇඳුම ඇඟලාගෙන විවිධ උත්සව අවස්ථාවලට එක් වී ඇත. එයට විවිධ හැඩකළ අංගෝපාංග එක්කරමින් එය දිවා ඇඳුමක් බවට එකල පත් කර ගෙන තිබුණි. ප්‍රිල් අල්ලා අලංකාර කර ගැනීමත්, දිගට සහ කෙටියට මෙම ඇඳුම සකසා ගැනීමක් කළ අතර, මෙම ගවුම බෙඩ්රූම් සංකල්පය සමගින් රාත්‍රී නිදන ගවුමක් බවට පත්වන්නේ 1920 න් පසුය. 1930 වනවිට හොලිවුඩ් සිනමාවේදී මෙම ගවුමට ඉතා විචිත්‍රබවක් ගෙනදී ඇත. සිල්ක් ගවුම පැමිණෙන්නේ මෙම කාලයේදී වන අතර, ඊට පිහාටු අල්ලා සහ ලේස් එක්කොට අලංකාරව නිර්මාණය කරගෙන ඇත. හොලිවුඩ්වල ඇතිවූ මෙම විපර්යාසය, රාත්‍රී නිදන ඇඳුමට බලපෑම් ඇති කළේය. අනතුරුව උදා වූ කාලය වන්නේ ලෝක යුද සමයයි. ඒ සමග ඇතිවූ කැලඹිලි සහිත වාතාවරණය සමගින් මිනිසුන්ගේ ජීවිතවල අරමුණු හා බලාපොරොත්තු සීමා වූ අතර ඇඳුම් මෝස්තර පිළිබඳ අවධානයද ගිලිහි ගියේය. එම කාල සීමාව තුළ රාත්‍රී නිදන ඇඳුම ගැන උනන්දුවක් පැවතියේද නැත. එහෙත් යුද්ධය අවසන් වීමත් සමග උදාවූ කාලය මිනිසුන් අත මුදල් ගැවසෙන, අලුත් අලුත් දේ ගැන අවධානය යොමු කරන්නට හැකි කාලයක් වන අතර, එම කාලය තුළ මෝස්තර නිරූපණයේ නව කාල පරිච්ඡේදයක් ඇරැඹුණි. මෙම කාලය ප්‍රංශ ඇඳුම් මෝස්තර නිර්මාණකරුවෙකු වන ක්‍රිස්ටියන් ඕර් (Christian Dior) නැමැත්තා මෝස්තර නිර්මාණයට එක් වූ සමයයි. ඔහු අදහස් කළේ ඕනෑම අයෙකුට මිලදීගත හැකි පරිදි විවිධ මෝස්තර නිර්මාණය කිරීමයි. එහිදී අලංකාරය මුල්තැන ගත් අතර ලේස් වර්ග එම්බ්‍රොයිඩර් මෝස්තර ඇතුළත් කොට, විවිධ අමුද්‍රව්‍ය යොදා ගනිමින්, ආකර්ෂණීය මෝස්තර නිර්මාණය කිරීම කැපී පෙනුණි. මෙම මෝස්තර රාත්‍රී නිදන ඇඳුමට පමණක් නොව, දිවා කාලයේ පිටත​ට ඇඳගෙන යාමට හැකි වැදගත්කමකින් ද යුතුවිය. පිජාමා ඇඳුම එන්නේ එම කාලයේදී. මුලින්ම රාජකීයත්වයෙන් යුතුවූ මෙම ඇඳුම බේබි ඩෝල්ස් සංකල්පයට අනුව අමුතුම තාලයේ කුඩා කලිසම් කමිස ආකාරයට ද නිර්මාණය වුණි. පිජාමා ඇඳුම එන්නේ ඒ අනුවයි. රාත්‍රී නිදන ඇඳුම සුව පහසුවට රාත්‍රීයට ගැළපෙන ඇඳුමක් හැටියට කල එළි බසින්නේද මෙම කාලයේය. එනම් 1960 න් පසුව අද දක්වා ගෙවුණු කාලය තුළ වර්තමාන කාන්තාවන් ඇඟලන රාත්‍රි නිදන ඇඳුම දිගු ගමනක් පැමිණ ඇත. රුපියල් සියය, එකසිය පනහේ සිට පමුණුවේදී නයිටියක් මිලදී ගතහැකිය. බැංකොක් වලින් ගෙනෙන නයිටියක් රුපියල් විසිතිස් දහස දක්වා වූ මිලකට අලෙවි කරන අවස්තා ඇත. අද වන විට වෙළෙඳපොළේ ඕනෑම අයකුට නයිටියක් මිලදී ගැනීමේ හැකියාවද ඇත. පමුණුවට, පිටකොටුවට මෙන්ම මෙරට සුපිරි සාප්පු සංකීර්ණවලද විවිධ මිල ගණන් යටතේ නයිටි අලෙවි කෙරේ. මිල අධික නයිටි ඉන්දියාව, තායිලන්තය වැනි රටවලින්, ගෙන්වන අතර, කපු රෙද්දක් ගෙන පටි යොදා අතේම නයිටිය මසා ගන්නා කාන්තාවන්ද අඩු නැත. නයිටිය හැඳගත් කාන්තාවගේ රූ සොබාව ගැන කවියෙකුට කවි සිතිවිල්ලක් පහල විය හැකිවාක් මෙන්ම, සලෙළකුට රාගික හැඟීම් මතුවීමට හැකියාවක් තිබේ. අපේ සංස්කෘතිය තුළද, විවිධ මතිමතාන්තර ගෙනෙන්නක් වන අතර, පවුල් ජිවිත අවුල් වීමටද නිදන ඇඳුම බලපාන්නේ යැයි වරක් මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසා තිබුණි. ඔහු රෑ ඇඳුම ඇඟලා ගෙන සිටින කාන්තාව හුචක්කුවක් ලෙස හැඳින්වූයේ ද උදේ සිට සවස් වනතුරු රෑ ඇඳුම එල්ලාගෙන සිටිනු දැකිය හැකි නිසා විය යුතුය. කෙසේ නමුත් දැලිකුණු පෙරාගත් නයිටියෙන් දවස ගෙවනවා වෙනුවට එය ඇඟලාගෙන සිටිය යුතු වේලාව සහ පිළිවෙල කාන්තාව විසින්ම තීරණය කරීම වැදගත් වනු ඇත. දීපා වසන්ති එදිරිසිංහ අනුපමා ගල්කඩවල
 

More News..