brand logo

දෙමළ නොදත් දරුවෙක් හිටි හැටියේ දෙමළෙන් කතා කරයි

17 April 2021

දෙමළ භාෂාව පිළිබඳ කිසිවක් නොදත් දහතුන් හැවිරිදි දරුවෙකු එක් වරම දෙමළ බසින් කතා කිරීමට පටන් ගෙන තමන් යාපනයේ ජීවත් වූ රාමචන්ද්‍ර රාජී නම් දැරියක බව කියා සිටීමේ විස්මයජනක පුවතක් 2006 සැප්තැම්බර් මාසයේ මෙරට සිංහල, ඉංග්‍රීසි සේම දෙමළ පුවත්පත්වල ද සුවිසල් සිරස්තල යටතේ පළ විය. එවක කටානේ විද්‍යාලෝක විද්‍යාලයේ නව වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි ඔහු එක්වරම දෙමළ දැරියක සේ කතා බස් කිරීම පළමුව සිසුන්ටත් දෙවනුව ගුරුවරුන්ටත් මහත් ප්‍රශ්නයක්ව තිබිණ. මෙම අසාමාන්‍ය සංසිද්ධිය කොච්චිකඩේ පොලිසිය වෙත දැනුම් දීමට එම විදුහලේ එවක විද්‍යාලයාධිපති ලක්ෂ්මන් විජේරත්නට සිදුවිය. ඒ එම විද්‍යාලයට යාබදව පිහිටි නිවස එවක අගවිනිසුරු සරත් එන්. සිල්වාගේ මහ ගෙදර වීමෙන් මෙසේ ලක්ෂාන් නමින් පෙනී සිටිනුයේ හිටපු අගවිනිසුරුවරයා එල්ල කොට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් එවන ලද ‘කොටි කෙල්ලක්’ බවට රාවයක් ප්‍රදේශයේ පැතිර යාමත් නිසාය. ඒ අනුව මූලික ප්‍රශ්න කිරීමක් සඳහා 2006 වසරේ සැප්තැම්බර් 20 දා ලක්ෂාන් මීගමු පොලිසිය වෙත කැඳවනු ලැබීය. සිංහල, ඉංග්‍රීසි, දෙමළ යන භාෂා තුනම ලිවීමේ, කතා කිරීමේ හැකියාවක් තිබූ එවක කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති හරූන් බුල් ඉදිරියේ ලක්ෂාන් දෙමළ බසින් කළ විස්තරයේ සිංහල පරිවර්තනය මෙලෙසිනි. ‘මගේ නම රාමචන්ද්‍රන් රාජ්. මම ගැනු ළමයෙක්. මම ඉගෙන ගත්තේ යාපනයේ භද්‍රකාලී කෝවිල ළඟ තියෙන තිරුප්පුලි විද්‍යාලයේ. මම ඉස්කෝලේ ගියේ තුනට විතරයි. මගේ තාත්තා ශ්‍රී රාමචන්ද්‍රන් රමේෂ් කුමාර්. අම්මා ශ්‍රී රාමචන්ද්‍රන් රාෂම්. අපේ ගේ ලොකුයි. ගෙදර අම්මාගේ ෆොටෝ එක එල්ලලා තිබුණු බිත්තිය ඇතුළේ රහස් සේප්පුවක් තිබුණා. තාත්තා රෑට කට්ටියක් එක්ක ඇවිත් ඒ සේප්පුවේ සල්ලි හංගනවා අයියයි මමයි හොරෙන් බලාගෙන ඉන්නවා. පස්සේ කාලෙක අපේ ගෙදරට බෝම්බයක් වැටිලා අයියයි, තාත්තයි මැරුණා. ඊට පස්සේ අම්මා මාව සින්දු ජා කියලා ඇන්ටි කෙනෙකුට භාරදීලා රට ගියා. මීට අවුරුදු දොළහකට කලින් (1996) බෝම්බයකට අහුවෙලා මාවත් මැරුණා.’ ලක්ෂාන් විසින් එම ප්‍රකාශය කරන ලද්දේද දැරියකගේ ඉරියව්ව පාමින් වන අතර ඒ මොහොතේ ඔහුගේ මවද පොලිසියට කැඳවන ලදී. ඒ වන විට ඔහුගේ මව කොච්චිකඩේ ලොතරැයි පත් ඒජන්සියක ලොතරැයි අලෙවි කරන්නියක ලෙස සේවය කරමින් සිටියාය. ‘කවුද මේ?’ ලක්ෂාන්ට ඔහුගේ මව පෙන්වූ පොලිස් ස්ථානාධිපතිවරයා දෙමළ බසින් ඇසීය. ‘දන්නේ නෑ. කවුරු හරි නැන්දා කෙනෙක් නේද?’ ලක්ෂාන් පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් විමසීය. ‘කොහෙන්ද? පුතා දෙමළ ඉගෙන ගත්තේ?’ අනතුරුව පොලිස් ස්ථානාධිපතිවරයා අසන ලද්දේ ලක්ෂාන්ගේ මවගෙනි. ‘මෙයා දෙමළ දන්නේ නෑ. සර් මෙයා දෙමළ ඉගෙන ගන්න විදිහක් නෑ.’ ලක්ෂාන්ගේ මවගේ පිළිතුර එය විය. ලක්ෂාන් ලිංගික සංක්‍රාන්තිමය තත්ත්වයකට පත්වෙමින් තිබේද යන්න විමසීම පිනිස ඔහු මීගමුව රෝහල වෙත යොමු කරන ලදී. කායික වශයෙන් එබඳු කිසිදු විපර්යාසයක් වී හෝ වෙමින් නොමැති බව එහිදී කරන ලද වෛද්‍ය පරීක්ෂණ වාර්තා මගින් තහවුරු විය. පසුව එසේ නම් ඔහු කිසියම් මානසික ව්‍යාධියකින් පෙළෙන්නේද යන්න පිළිබඳ මනෝ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා 2006 සැප්තැම්බර් 29දා ලක්ෂාන් රාගම රෝහලට ඇතුළත් කරන ලදී. එම පරීක්ෂණය භාරව තිබුණේ ශ්‍රී ලංකාවේ කීර්තිමත් මනෝ වෛද්‍ය විද්‍යා මහාචාර්යවරයකු වන කේ.ඒ.එල්.ඒ. කුරුප්පුආරච්චිටය. නමුදු ලක්ෂාන් කිසියම් මනෝ ව්‍යාධියකින් පෙළුණද ඔහු හිටිහැටියේ තමන් නොදන්නා භාෂාවක් කතා කරන ලද්දේ කෙසේද? කිසිසේත් ඇදහිය නොහැකි එම අරුමය කුමක්දැයි සිතාගත නොහැකි බැවින් ඊට පසුදින එනම් 2006 වසරේ සැප්තැම්බර් 30 වනදා ලක්ෂාන් රඳවා සිටි රාගම මහ රෝහලේ 28 වාට්ටුවට ගියෙමි. නමුදු ඒ වන විට ලක්ෂාන් මානසික සෞඛ්‍ය පිළිබඳ ජාතික ආයතනයට එනම් අංගොඩ මානසික රෝහලට මාරුකොට යවා තිබිණ. ඒක රෝහල් අධ්‍යක්ෂගේ තීරණයක්. සමහර විට මේ ළමයා සම්බන්ධයෙන් පැතිරීගෙන යන කතා ළමයාගේ ආරක්ෂාවට තර්ජනයක් නිසා අධ්‍යක්ෂ එහෙම කළා වෙන්න පුළුවන්. [caption id="attachment_139852" align="alignleft" width="248"]මහාචාර්ය  K.A.L.A  කුරුප්පුආරච්චි මහාචාර්ය K.A.L.A  කුරුප්පුආරච්චි[/caption] මහාචාර්ය කුරුප්පුආරච්චි කීය. ඒ අනුව මම නැවත ලක්ෂාන් ඉගෙනුම ලබමින් සිටි තමාගේ විද්‍යාලෝක විද්‍යාලයට යාබඳව පිහිටි සිරිවර්ධනාරාමයට ගොස් එහි විහාරාධිපති කරඹේ සුමන හිමියන් හමුවීමි. ඊට ද හේතු දෙකක් තිබිණ. පසුගිය කාලයේ ලක්ෂාන් සවස් කාලයට අසල්වැසි සම වයසේ දරුවන් හා එම විහාරයට පැමිණ තිබීමත් සුමන හිමියන් එවක කටාන විද්‍යාලෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති පදවිය හෙබවීමත්ය. ‘ඔය ළමයා අනික් ළමයි අතේ  කියලා තිබුණ එයා ගෑනු ළමයෙක් කියලා. ඒත් මම හිනාවෙල කිව්වා තමුසේ කොහොමද ගෑනු ළමයෙක් වෙන්නේ. තමුසෙගේ රැවුලත් එන්නනේ හදන්නේ කියලා. කොහොමත් ඔය ළමයගේ තාත්තාත් පවුලෙන් අයින්වෙලා. ඔය ළමයයි, මල්ලිලා දෙන්නයි ඉන්නේ අම්මයි ආත්තම්මයි එක්ක බොහෝම අසරණ විදිහට ජීවත් වෙනවා මට ආරංචි වුණා. කොහොමත් ඔය ළමයා ගැන අපි කවුරුත් හොයා බලන්න ඕනේ කියන තැන තමයි මාත් ඉන්නේ.’ ඒ හිමියෝ කීහ. එහෙත් දෙමළ අකුරක්වත් නොදන්නා ලක්ෂාන් හිටිහැටියේ චතුර ලෙස දෙමළ බසින් කතා කරන්නට වූයේ කෙසේද? එය මනෝ වෛද්‍ය විද්‍යාත්මකව විසඳිය හැකි ප්‍රශ්නයක් නොවේ. එබැවින් මම නැවත කොච්චිකඩේදී ලක්ෂාන්ගේ මව හමුවී ඔහුගේ යටගියාව පිළිබඳ වැඩිදුර විමසන්නට පටන් ගතිමි. ‘ඉස්සර අපි හිටියේ වයික්කාලේ තඹරවිල. දරුවා ගියේ එහේ ඉස්කෝලෙට. නමුත් අපිට ජීවත් වෙන්න ක්‍රමයක් නොතිබුණු හින්දා මමයි මගේ අම්මයි ඔය දරුවෝ තුන්දෙනයි එක්ක පසුගිය ජූලි මාසේ මෙහෙන් කුලියට ගත්ත ගෙයක්. දරුවන්ගේ තාත්තා අපි ගැන වැඩිය හොයා බැලීමක් නැහැ. ලක්ෂාන්ගේ මව වැඩිදුරටත් කී අන්දමට ලක්ෂාන් ඉපදී ඇත්තේ 1992 දෙසැම්බර් අට වනදාය. එවිට තමන්ගේ වයස අවුරුදු විසිතුනක් වූ අතර තම සැමියා දහඅට හැවිරිදි වූ බව ද ඇය කීවාය. අනතුරුව දෙමළ අකුරක්වත් නොදත් ලක්ෂාන් හිටිහැටියේ දෙමළ බසින් කතා කිරීමේ අරුම පුදුමය වටහා ගැනීම පිනිස වයික්කාලේ තඹරවිලට ගොස් එහිදී ලක්ෂාන් ඇසුරු කළ සම වයසේ පාසල් මිතුරන් කිහිපදෙනෙකු හමුවීමටද මට සිදුවිය. . ඒ මිතුරන්ගෙන් කිහිපදෙනෙකුම දෙමළ දරුවන් වූ අතර ඔවුහු වවුනියාව ආදී ප්‍රදේශවලින් උළු කර්මාන්තය හා සම්බන්ධ රැකියාවක් සඳහා වයික්කාලේ තඹරවිලට සංක්‍රමණය වූ දෙමාපියන් සමග පැමිණි දරුවෝ වූහ. ‘මෙහේ දෙමළ ඉස්කෝලේ නැති හින්දා අපි සිංහල ඉස්කෝලෙට ගියත් අපි අපි දෙමළ ළමයි කතා කරගත්තේ දෙමළෙන්. ලක්ෂානුත් හරිම ඉක්මනට දෙමළ ඉගෙන ගත්තා. පස්සේ එයා අපි එක්කත් දෙමළෙන් කතා කරන්න පටන් ගත්තා. වයික්කාලේ, තඹරවිල ජීවත් වූ ලක්ෂාන්ගේ පැරණි පාසල් මිතුරෝ කීහ. කෙසේ හෝ කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව වෛද්‍ය පරීක්ෂණයක් කිරීමට යැයි කියමින් අංගොඩ රෝහලේ බරපතළ මානසික රෝගීන්ද සහිත හයේ වාට්ටුවේ දින තිස් එකක් රඳවාගෙන සිටි ලක්ෂාන් නැවත රාගම මහ රෝහල වෙත මාරු කරන ලදී. ඒ එම කාලය වන විට ඔහු අතිශය කලහකාරී ලෙස හැසිරෙන්නට වූ පසුබිමකය. මිරිදිය මසෙකු කරදියට ගෙන ගොස් දැමීමක් වැනි එම ඛේදනීය සංසිද්ධිය එතෙකින් නිමාවට පත් වූ අතර නැවත රාගම මහ රෝහලට ගෙනා ලක්ෂාන් නොදන්නා දෙමළක් කතා කිරීමේ මනෝ වෛද්‍ය විද්‍යාත්මක හෝ සායනික නොවූ එම රහස මහාචාර්ය කුරුප්පුආරච්චි වෙත හෙළි කළෙමි. ඒ අනුව තමන්ට එල්ල වන දැඩි මානසික පීඩනයට දක්වන ප්‍රතිචාරමය තත්ත්වයක් වශයෙන් එයින් අත්මිදීම පිනිස වන අවිඥානක බලපෑමක් වන විඝටනමය  අනන්‍යතා ආබාධය නම් මානසික ආබාධය ලක්ෂාන්ට වැලඳී ඇති බව නිගමනය කළ මහාචාර්ය  මහාචාර්ය කුරුප්පුආරච්චි සති කිහිපයක් තුළ ලක්ෂාන් මුළුමනින්ම සුවපත් කළේය. තිලක් සේනාසිංහ
 

More News..