brand logo

දරුවෙක් ඉල්ලා හඬා වැටෙන.. නදුනි කරුණාතිලක

26 October 2019

නදුනි කරුණාතිලක අද ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ දවසින් දවස සිය ජනප්‍රියත්වය වැඩිකර ගනිමින් හිඳින නිළියක්. දෙවැනි ඉනිමේ මාලිකා ලෙසින් රසිකයන් අතරට පැමිණි ඇය අද පාවෙලා වලාකුළෙහි නිරාශා ලෙසින් වෙනස්ම චරිතයකට පිවිස සිටිනවා. දරුවෙක් තම කුසෙන් බිහිකරන්නට වරම් නොලද සිය සැමියාගෙන් එල්ලවන දුක්ගැහැට දරාගෙන අන් සතු දරුවකුට මාතෘ සෙනෙහස පුදන්න පාරමී පුරන නිරාශාගේ සැබෑ දිවියේ වගතුග විමසමින් අපි නදුනි සමග කතාබහට එළැඹුණා. නදුනි රංගන දිවිය පටන් ගත්තේ කොතැනින්ද? දෙවෙනි ඉනිමේ මාලිකාගේ චරිතයෙන් තමයි මට රඟපාන්න මුල්ම අවස්ථාව ලැබුණේ. ඒ දෙවෙනි ඉනිමේ ඇඳුම් නිර්මාණය කරන චමිත් සුලක්ෂණ අයියාගේ දැනහැඳුනුම්කම මතයි. ඊට පස්සේ පාවෙලා වලාකුළේ ටෙලි නාට්‍යයේම අධ්‍යක්ෂකවරයා වන දිලුප් සුදර්ශන මහත්මයගේ ටෙලි චිත්‍රපට තුනක රඟපෑවා. ඊට පස්සේ පාවෙලා වලාකුළෙහි නිරාශාගේ චරිතය ලැබුණා. නදුනිට රංගනය අහම්බෙන් ලැබුණ අවස්ථාවක්ද? අනේ ඔව්. මම පාසල් වියේ පටන්ම සංගීතය තමයි හැදෑරුවේ. ඒ අනුව මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට තේරුණා. ඔය අතරේ තමයි නාට්‍ය පැත්තට යොමුවෙන්න අවස්ථාව ලැබුණේ. මට රඟපාන්න පුළුවන් කියලා මම දැනගෙන හිටියේ නැහැ. හැබැයි මම පාසලෙන් අයින් වුණාට පස්සේ මනාලියන් දැක්මවල්වල නිරූපිකාවක් විදිහට වැඩ කරන්න ඇරයුම් ලැබුණා. ඊට පස්සේ නදුනිට නිර්මාණවලට ඇරයුම් ලැබෙන්න පටන් ගත්තද? ඔව්, මට අවස්ථා ආවා. ඒත් මගේ පදිංචිය නුවර නිසා ඒවාට එන්න අපහසු වුණා. දෙවෙනි ඉනිමේ රඟපාද්දිත් තාත්තා මාත් එක්ක නුවර ඉඳන් කොළඹ ආවා. අධ්‍යාපන කටයුතුවලට කොළඹ ආවට පසුව විවාහය සිද්ධ වුණා .ඊට පසුව තමයි දිගටම වැඩ කරන්න පටන් ගත්තේ. මේ වෙද්දි තවත් නිර්මාණ භාර අරගෙනද? දැනට නම් පාවෙලා වලාකුළේහි නිරාශාගේ චරිතය විතරයි රඟපාන්නේ. මේ මම ප්‍රධාන චරිතයක් රඟපාන පළවැනි ටෙලි නාට්‍යය නිසා මේ දවස්වල නිරාශාගේ චරිතයට තමයි මුල්තැන දීලා තියෙන්නේ. තව අවස්ථා ලැබුණා. නමුත් මේ ටෙලි නාට්‍යය ඉවර වෙලා තමයි තවත් නිර්මාණයකට යන්න හිතාගෙන ඉන්නේ. සංගීත අංශයෙන් උපාධිය හදාරන ඔබගේ අනාගත ඉලක්කය කුමක්ද? උපාධිය කරලා රංගනය ගැනත් ඉගෙනගෙන ක්ෂේත්‍රයේ තවදුරටත් රැඳී ඉන්නයි හිතාගෙන ඉන්නේ. මේ වෙද්දි තවදුරටත් රංගන ක්ෂේත්‍රයේ රැඳෙන්න තරම් ප්‍රබල ප්‍රතිචාරද ලැබෙන්නේ? ප්‍රතිචාර නම් ඉතා ඉහළයි. ටෙලි නාට්‍යය පටන් අරන් කොටස් දහයක් විතර විකාශය වෙද්දි හිතාගන්න බැරි තරම් ප්‍රතිචාර ලැබෙන්න පටන් ගත්තා. ඒක ආධුනික ශිල්පීන් විදිහට මේ ක්ෂේත්‍රයේ තවත් ඉදිරියට යන්න හයියක්. නිරාශා ගැන මොකද හිතෙන්නේ? එය බොහොම බැරෑරුම් චරිතයක්. ඇය ගැහැනියකට විඳින්න වෙන දුක් ගැහැට හැම එකකටම වාගේ මුහුණදෙන කාන්තාවක්. ඒ වගේම ඇය හරිම මානුෂීය චරිතයක්. ඔබේ සැබෑ දිවිය හා නිරාශා අතර සමානකම් තියෙනවද? අනේ නැහැ. මම සාමාන්‍ය විදිහේ ජීවිතයක් ගෙවන කෙනෙක්. නිරාශාගේ ඇඳුම් විලාසිතා සැබෑ දිවියේ නදුනිගේත් විලාසිතාද? මම ඒ විදිහේ ඇඳුම් අඳිනවා. තව විවිධ විලාසිතා කරනවා. එදිනෙදා ගමන්වලදී නම් මම අඳින්නේ ඩෙනිම් කලිසමයි ටීෂර්ට් එකයි. නදුනිගෙ පෞද්ගලික තොරතුරු මොනවද? මගේ ගම නුවර. මම ඉගෙන ගත්තේ මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ. මගේ පවුලේ අම්මයි, තාත්තයි, නංගිලා දෙන්නයි. නංගිලා දෙන්නා තවම ඉගෙන ගන්නවා. මම විවාහකයි. මගේ සැමියා තමයි පාවෙලා වලාකුළෙහි දේවකගේ චරිතය රඟපාන්නේ. රංගනය නිසාද දෙදෙනා හඳුනාගන්නේ? මම සංගීත තරගයකට ඉදිරිපත් වුණා. ඒ සඳහා හඬ පුහුණු පන්තියකට ගිය වෙලාවෙ තමයි මට දිනුෂව හමුවුණේ. අපි අවුරුද්දක් විතර හොඳම යාළුවෝ විදිහට ඉඳලා තමයි ආදර සම්බන්ධයක් පටන් ගත්තේ. අවුරුදු හතරක විතර පෙම් සබඳතාවකින් පස්සේ අපි 2019 වසරේ ජුනි මාසේ විවාහ වුණා. ඔබ දෙදෙනාටම එකම ක්ෂේත්‍රයක එකම නිර්මාණයක වැඩ කරන්න ලැබීමේ අත්දැකීම මොන වගේද? ඒක ලොකු පහසුවක්. අපි පදිංචි නුවරනේ. ඉතින් වැඩවලට එන ගමනේදි ඉඳන්ම අපි දෙන්නා එකම නිර්මාණයක රඟපාන එක පහසුවක්. නිර්මාණය ගැනත් අපි කතාබහ කරනවා. මට වඩා දිනුෂට රංගනය ගැන දක්ෂතාවක් තියෙනවා. එයා මට උපදෙස් දෙනවා. ඒකත් මට ගොඩක් වටිනවා. එතැනින් එහාට නදුනි කියන්නේ සාර්ථක බිරිඳක් සහ ගෘහණියක්ද? බිරිඳක් වුණාම තමන්ගේ සැමියගෙයි ගෙදර වැඩයි කරන්න ඕනනේ. විවාහයට පෙර නම් මගේ අම්මයි, ආත්තම්මයි දෙන්නම හිටිය නිසා ලොකුවට ගෙදර වැඩ කළේ නැහැ. දැන් නම් මගේ ගෙදර වැඩ කර ගන්නවා. අපි දෙන්නම ගෙදර රැඳී ඉන්න කාලය අඩුයි. රංගනය ගැන ඉදිරි අපේක්ෂා මොනවද? සිනමාවට එන්න බලාපොරොත්තුවක් තියෙනවා. මේ ක්ෂේත්‍රය විශාල පරාසයක විහිදුන ක්ෂේත්‍රයක්. ඒ ගැන අවබෝධයක් ඇතිව වැඩ කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. අපි දෙන්නගෙම විෂය සංගීතය. මෑතකදී මගේ සැමියත් සංගීත කණ්ඩායමක් පටන් ගත්තා. අපි දෙන්නගේම ගීත දෙකක් ලබන මාසේ එළිදක්වන්න හිතාගෙන ඉන්නවා. මෙතෙක් ආ ගමන ඔබට දැනෙන්නේ කොහොමද? තව ඉදිරියේදි මට ඉටුකර ගන්න ගොඩක් දේවල් තියෙනවා. මේ කිසි දෙයක් ලෙහෙසියෙන් ලැබුණෙ නැහැ. මගේ ජීවිතයේ නම් මම ගොඩක් මහන්සි වෙලයි මේ හැම දෙයක්ම ලබාගත්තේ. සුරංජි පතිරණ
 

More News..