brand logo

දරුවා ගෑනුද පිරිමිද බලන්න බිරියගේ බඩ දෑකැත්තකින් කපලා

23 September 2020

දරුවාගේ ලිංගභේදය පරීක්ෂා කිරීම සඳහා ස්වාමිපුරුෂයා ගැබිනි බිරිඳගේ උදරය දෑකැත්තකින් කපා දැමූ සිදුවීමක් පිළිබඳව ඉන්දියාවෙන් වාර්තාවේ. අදාළ කාන්තාව රෝහල්ගත කිරීමෙන් අනතුරුව පිරිමි දරුවකු බිහි කර ඇති නමුත් දරුවා මියගොස් ඇතැයි ඉන්දීය පොලිසිය ප්‍රකාශ කරයි. පවුලේ ඥාතීන් ප්‍රකාශ කර ඇති ආකාරයට මෙම යුවළට දියණියන් පස් දෙනකු සිටින අතර පුතකු ලබා දෙන ලෙසට ස්වාමි පුරුෂයා බිරිඳට දිගින් දිගටම බලපෑම් කර ඇත. අත්අඩංගුවට ගෙන ඇති මෙම පුද්ගලයා පවසා ඇත්තේ මෙය හදිසි අනතුරක් බවත් තමා බිරිඳට රිදවීමට අදහස් නොකළ බවත්ය. උතුරු ඉන්දියාවේ වැඩිම ජනගහනය සිටින උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බඩාන් දිස්ත්‍රික්කයෙන් මෙම සිදුවීම වාර්තා වී තිබේ. තුවාල ලැබූ බිරිඳ දිල්ලි අගනුවර රෝහලක් වෙත ඇතුළත් කර ඇත. ඇයගේ තත්ත්වය යහපත් බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි. මෙම යුවළ අතර පුත්‍රයකු නොමැති වීම සම්බන්ධයෙන් නිරන්තරයෙන් ගැටුම් පැවැති බව අදාළ කාන්තාවගේ සහෝදරිය ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත. මීට පෙර එම පවුලට පුත්‍රයකු ලැබී ඇති නමුත් දරුවා උපතින් මඳ කලකට පසු මියගොස් තිබේ. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ වාර්තාවන්ට අනුව පසුගිය වසර 50 ඇතුළත ගැහැනු ළමුන් මිලියන 46ක් පමණ ඉන්දියාවෙන් අතුරුදන්ව ඇත. මෑත අතීතයේ වාර්ෂිකව ගැහැනු දරුවන් 460,000ක් පමණ ගබ්සා කිරීම් ඔස්සේ මරණයට පත් කර ඇතැයිද එම වාර්තා අනාවරණය කරයි. 2018 වර්ෂයේ ඉන්දියානු රජයේ වාර්තාවක සටහන් කර ඇති ආකාරයට මෙලෙස පුතුන් ලබා ගැනීම සඳහා ඇති ආශාව හේතුවෙන් ඉන්දියාවට අමතර වශයෙන් ගැහැනු දරුවන් මිලියන 21ක් පමණ ලැබී ඇත. නයන තරංග ගමගේ
 

More News..