brand logo

දරුවාගේ අයිතිය සොයා DNA පරීක්ෂණයක්

02 October 2020

‘කවුරුත් කියන විදිහට මේ දරුවා සුනාමියට ගහගෙන ආව ළමයෙක් නෙවෙයි. මේ මගේ කුසින් වදාපු , දහඩිය මහන්සියෙන් හදපු මගේම ළමයා’’ යැයි අම්පාර හොල්මන්ගල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ජුනයිඩ් නූර් ඉර්ෂානි නමැති කාන්තාවක් ඊයේ (01 වැනිදා) සමන්තුරෙයි පොලිසිය හමුවේ හැඬූ කඳුළින් පැවසුවාය. මොහොමඩ් ශියාන් (21) නමැති ඒ දරුවා තමන්ගේ කුසින් උපන් දරුවකු බවත්, දරුවාගේ පියා අත්හැර ගොස් ඇති බවත් එදා පටන් තමන් කුලීවැඩ කරමින් ගෘහ සේවයේ යෙදෙමින් දරුවා උස්මහත් කළ බවත් ඇය සඳහන් කළාය. අම්පාර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායකගේ උපදෙස් මත සමන්තුරෙයි පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කුරුවිට ජයතිලක මහතා ඉදිරියේ ඉන්ෂානි මේ බව කියා සිටියේ ඇයට සහ දරුවාට ඊයේ (01 වැනිදා) පොලිසියේ හමුවේ කැඳවූ අවස්ථාවේය. අම්පාර කාරෙයිතිව් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිත්ති හමාලියා නම් කතක් පසුගියදා 28 වැනිදා මාධ්‍ය ඉදිරියේ අනාවරණය කළේ 2004 දෙසැම්බර් 26 වැනිදා සුනාමියෙන් අතුරුදන් වූ පස් හැවිරිදි නසීන් මුහමල් අස්කර් රිස්කාන් නමැති තම දරුවා 16 වසරකට පසු සොයා ගත් බවට හෙළිදරව්වක් කරමිනි. අම්පාර අෂ්රෆ් රෝහලේ තමා සේවය කරමින් සිටියදී සුනාමි ව්‍යසනය සිදු වු බවත්, ව්‍යසනයෙන් පසු දරුවා අම්පාර රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී කවුරුන් හෝ මවක් දරුවා පැහැරගෙන ගොස් තිබූ බවත් ඇය පැවසුවාය. 16 වසරකට පසු තම දරුවා සොයාගත් බවත් ඇය පැවසුවේ දරුවාද සමීපයේ තබා ගනිමිනි. තම දරුවා සොයා ගැනීම සඳහා පොලිසිය, මානව හිමිකම් කොමිසමට, ජනාධිපති කාර්යාලයට පැමිණිලි කළත් ඒ කිසිදු තැනකින් තමන්ට යුක්තිය, සාධාරණය ඉටු නොවූ බව ඇය එහිදී කියා සිටියා. යහළු මිතුරියන්ගේත්, හිතවතුන්ගේත් සහායෙන් තමාට ලැබුණු තොරතුරුවලට අනුව විවිධ වේෂයන් ගෙන දරුවා සොයා රටවටා ගිය බවද ඇය කීවේ හඬා වැටෙමිනි. සබන්, සුවඳවිලවුන් සහ රූපලාවණ්‍ය ද්‍රව්‍ය ගෙන් ගෙට ගොස් අලෙවි කර ඇති මෙම කාන්තාව ඇතැම් අවස්ථාවල යාචක වෙස් ගෙන සැරිසැරුවේ දරුවා ගැන ලද ඉඟි මත යැයිද පැවසුවාය. 2016 වසරේදී දරුවා අම්පාරෙ සද්ධාතිස්ස විද්‍යාලය අසල නිවසක සිටින බවට යෙහෙළියකගෙන් තොරතුරු ලැබෙන්නේ ඒ අතරය. ඇය අම්පාර නගරය ඇතුළු ප්‍රදේශවල සැරිසරන්නේ දරුවා සොයා ගැනීමේ පරමාර්ථය ඇතිවය. අවසානයේ ඇය අම්පාර හොල්මන්ගල ප්‍රදේශයේ මුස්ලිම් නිවසක් සොයා ගියේ තම දරුවා එහි සිටින වග හොඳින්ම තහවුරු වීම නිසාය. දරුවාගේ ශරීරයේ උපන් ලප හා සලකුණු ගැන කියා දරුවාගේ කුඩා කළ ඡායාරූප පෙන්වූ පසු දරුවා තමන් වෙත පැමිණි බවද ඇය පවසන්නීය. මව යැයි කියූ කාන්තාව දරුවාගේ නම හසීන් මොහොමද් අස්කර් රිස්කාන් යැයි පැවසුවද මේ හමු වූවා යැයි කියන තරුණයාගේ නම වූයේ මොහොම්ඩ් රියාස්ය. ඇය මුලින් ප්‍රකාශ කර තිබුණේ දරුවා සිංහල පවුලක හැදී වැඩුණු බවයි. අම්පාර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත රත්නායක අම්පාර පොලිස් ස්ථානාධිපති දවුලගල, සමන්තුරෙයි පොලිස් ස්ථානාධිපති කුරුවිට ජයලත් යන නිලධාරීන් මේ පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කිරීමට තම නිලධාරින්ට උපදෙස් දෙන්නේ මෙය අතිශය සංකීර්ණ ගැටලුවක් බවට පත්ව තිබූ බැවිනි. ඒ අනුව සිත්ති හමාලියා විසින් මාධ්‍ය මගින් කළ ප්‍රකාශ ගැන පොලිස් විශේෂ කාර්යාංශයේත් බුද්ධි අංශවලත් සහයෙන් සියලු තොරතුරු පැය 48 ක් යන්නට මත්තෙන් එක්රැස් කරගැනීමට පොලිසිය සමත් විය. නූතන හුනුවටයේ කතාව බඳු මෙම පටලැවිල්ල ගැන විභාග කිරීමට දරුවාට හිමිකම් කියන පාර්ශ්ව දෙකටම දරුවාද සමගින් ඊයේ (01 වැනිදා) සමන්තුරෙයි පොලිසියට කැඳවූවේය. එහිදී දරුවාගේ නීත්‍යනුකූල උප්පැන්න සහතිකය, බර කිරුම් සහතික, පාසල් සහතික ආදී සියලු සහතික දරුවාගේ නීත්‍යනුකූල භාරකරු වන අම්පාර හොල්මන්ගල පදිංචි මුහමද් ජුනයිඩ් නූර් ඉන්ෂානි විසින් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කුරුවිට ජයලත් හමුවට ඉදිරිපත් කළාය. තමන් දරුවා වැදූ මව බවත්, දරුවා කුඩා කාලයේම සැමියා තමාව හැර ගිය බවත්, දරුවාගේ නීත්‍යනුකූල අයිතිය තමාට හිමි බවත් ඇය පොලිසිය හමුවේ අවධාරණය කර සිටියාය. එමෙන්ම සිත්ති හමාලියා නම් සමන්තුරෙයි පදිංචි මවද කියා සිටියේ මෙම දරුවා සුනාමියෙන් අතුරුදන් වූ ‘රිස්කාන්’ යැයි තමා සිතන බවය. ඇයද අතුරුදන් තම දරුවා වෙනුවෙන් ඉදිරිපත් කළ හැකි ලේඛන පොලිසියට ඉදිරිපත් කර සිටියාය. මගේ දරුවා සොයා වසර ගණනක් රටවටා ගොස් ඇති මවට ඒ අනුව මෙම දරුවා ගැනද තොරතුරු ලැබී මෙම දරුවාව සොයාගෙන තිබෙන බවත් ඒ 2016 වසරේදී තමන් පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබුණාය. පොලිසිය විසින් කරන ලද විමර්ශනවලදී සමන්තුරෙයි හි පදිංචි හවාලියා තම දරුවා සොයා වසර ගණනක යෙදුණු උත්සාහයක ප්‍රතිඵලයක් වශයෙන් සොයාගත් දරුවා ඇයගේ දැයි නිශ්චිතව කිව නොහැකි මුත් ඇය තමන්ගේ යැයි විශ්වාස කරමින් දරුවාහට සමීප වී ඇති බවය. සිත්ති හමාලියාට දරුවා හමුවන විට ඔහු පාසල් අධ්‍යාපන අවසන් කර සිට ඇති අතර රැකියාවක් සොයා දෙන ලෙසට සිත්ති හමාලියාගෙන් ඉල්ලා සිටි බවත්, ඒ අනුව දරුවා සමන්තුරෙයි ප්‍රදේශයට පැමිණ ඇති බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබුණි. කෙසේ වුවත් මෙහි සත්‍ය අසත්‍ය කුමක්ද යැයි කීමට පොලිසියටද හැකියාවක් නැත. එය විද්‍යානුකූලව තීරණය කළ යුත්තකි, අනාවරණය කරගත හැකි වන්නේත් ඩීඑන්ඒ පරීක්ෂණයක් මගිනි. මවුන් යැයි කියන දෙදෙනාගේම එකඟත්වය මත මෙම ප්‍රශ්නය සඳුදා (05 දා) අධිකරණයට ඉදිරිපත් කරන්නට යන්නේත් ඒ නිසාය. නූතන හුනුවටයේ කතාවේ සැබෑ මව ඒ ඩීඑන්ඒ තාක්ෂණයෙන් සොයාගත් පසු රටක් විමසිල්ලෙන් බලා සිටි මේ ප්‍රවෘත්තියේ අත්තටු සිඳී යනු ඇත.
 

More News..