brand logo

දරුවන් දෙදෙනෙකුට දිවි අහිමි කරමින් අම්මා රෝහලට යැවූ 16 හැවිරිදි තරුණයා අත්අඩංගුවට

03 November 2019

කුඩා දරුවන් දෙදෙනෙකුට දිවි අහිමිකරමින් තංගල්ල - වීරකැටිය මාර්ගයේදී සිදු වූ රිය අනතුරින් පසු පළා ගිය මෝටර් රථයේ සැකකරුවන් 05 දෙනෙකු ලබන 15 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වලස්මුල්ල වැඩ බලන මහේස්ත්‍රාත් දයාරත්න වීරසිංහ මහතා නියෝග කර තිබේ. වීරකැටිය - තංගල්ල මාර්ගයේ රාජපක්ෂ විද්‍යාලය අසලදී ඉකුත් පළමු දින පස්වරුවේ සිදු වූ මෙම රිය අනතුරින් එකම පවුලේ මව හා දරුවන් දෙදෙනා බරපතල තුවාල ලබා වීරකැටිය රෝහලට ඇතුලත් කර තිබිණි. ඒ වන විටත් අනතුරින් විනුජ ඉංසර රාජපක්ෂ [06]දරුවා මියගොස් තිබිණි. බරපතල තත්වයෙන් පසු වූ මව හා දියණිය තංගල්ල රෝහලට වැඩි දුර ප්‍රතිකාර සදහා මාරුකර යැවීමට රෝහල් වෛද්‍යවරුන් කටයුතු කර තිබිණි.අස්ධ්‍ය තත්වයෙන් තංගල්ල රෝහලට රැගෙන ආ මව හා දියණිය තංගල්ල රෝහලින් මාතර මහා රෝහල දක්වා මාරුකර යැවීමට වෛද්‍යවරුන් කටයුතු කර තිබිණි. සනුරි විහන්සා රාජපක්ෂ [11]දියණියද එහිදී මියගොස් තිබිණි.බරපතල තුවාල ලබා සිටි හේවා ගී ගනගේ දිස්නා රංජනී [44]මව අසධ්‍ය තත්වයෙන් මේ වන විට ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි. මෙම අනතුර සිදුව ඇත්තේ මියගිය දරුවන් දෙදෙනා හා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින මව තම දරුවන් දෙදෙනා උපකාරක පන්තියකට සහභාගී කරවීම සදහා වීරකැටිය කැටකෑල්ලගහවත්ත ප්‍රදේශයේ සිට බස් රථයෙන් පැමිණ වීරකැටිය රාජපක්ෂ විද්‍යාලය අසලදී මාර්ගය හරහා මාරුවීමට යාමේදී බව වීරකැටිය පොලීසිය පවසයි.බස් රථය පිටුපසින් පැමිණි මෝටර් රථය අධික වේගයකින් ධාවනය කර ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.අනතුරින් පසු මෝටර් රථය පලාගොස් විතාරන්දෙණිය ප්‍රදේශයේ සඟවා තිබියදී ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීමකට අනුව පොලීසිය සොයාගෙන තිබිණි.අනතුර සිදුකර පලාගිය සැකකරුවන් තිදෙනෙකු එම අවස්තාවේදී අත්අඩංගුවට ගෙන තිබිණි. ඔවුන් සියලුදෙනා වයස අවුරුදු 16 යේ පසු වූ පාසල් ළමුන් බව පොලීසිය පවසයි.අනතුරුව මෝටර් රථයේ හිමිකරු වන පාසල් සංගීත ගුරුවරියක් හා ඇයගේ පුතාද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. අත්අඩංගුවට ගනු ලැබූ සියලු සැකකරුවන් 02 දින වලස්මුල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 15 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි. අනතුරින් මියගිය සනුරි විහන්සා රාජපක්ෂ හා විනුජ ඉංසර රාජපක්ෂ තංගල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ 05 හා 01 වසර වල අධ්‍යාපනය ලබමින් සිට ඇත.අනතුර සම්බන්දයෙන් වීරකැටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත. අම්බලන්තොට - අජිත් පුෂ්පකුමාර
 

More News..