brand logo

දරුවගෙන් ඈත්වෙලා අවුරුද්දකටත් වැඩියි

03 April 2021

ලෝචනා ඉමාෂි කාලෙකට පස්සේ පුංචි තිරයෙන් මුණගැහෙනවා. ඒ සංසාර සිහිනෙ ටෙලි නිර්මාණයෙන්. කටකාර දඟකාර ලෝචනා කාලෙකට පස්සේ අරඹපු අලුත් ගමන ගැන කිව්වේ මෙහෙම කතාවක්. කාලෙකට පස්සේ ලෝචනා අලුත් වැඩකට එකතු වෙලා? ඔව්. සංසාර සිහිනේ කියන්නේ මම අවුරුදු ගණනකට පස්සේ කළ නිර්මාණයක්. සහරාන්ගේ ප්‍රහාරය වුණාට පස්සේ සහ කොරෝනා ප්‍රශ්නය එක්ක කලාවේ කටයුතු ටිකක් අඩාළ වෙලා තිබ්බනේ. දැන් ආයෙත් සුපුරුදු විදිහට කලා කටයුතු පටන්ගෙන තියෙනවා. ඔබට ඒ නිර්මාණය තුළ වෙනසක් කරන්න ලැබුණා කියලා හිතනවද? ඇත්තටම මට කරන්න ලැබුණ චරිතය ටිකක් වෙනස් විදිහේ චරිතයක්. සෑබෑ ජීවිතෙ මමත් ටිකක් ඒ වගේ. ටිකක් බබෙක් වගේ තමයි හැසිරෙන්නේ. මට ලොකුවට රඟපාන්න දෙයක් තිබ්බෙ නෑ. කාලයක් ටෙලි නිර්මාණවලින් දැක්කේ නැති නිසා ප්‍රේක්ෂකයෝ ඔබෙන් දුරස් වෙලාද? ප්‍රේක්ෂකයෝ දුරස් වෙලා කියලා දැනෙන්නේ නෑ. නිර්මාණයේ පිස්සු චරිතය මම හොඳට කරනවා කියලා ප්‍රතිචාර ලැබෙනවා. ඒ චරිතය කරන විදිහ ගැන ගොඩක් අය සතුටින් කතා කරනවා. මම ඒ චරිතයට සාධාරණයක් කළ නිසා වෙන්න ඇති ඒ වගේ ප්‍රතිචාර ලැබෙන්නේ. ලෝචනාට ක්ෂේත්‍රයේ වැඩවලට කලින් තිබ්බ ඉල්ලුමම තියෙනවද? මම ලංකාවට ආපු ගමන් නිර්මාණකරුවන් මට නිර්මාණවලට කතා කළා. මම කාලයක්ම කළේ ලංකාවෙයි නෙදර්ලන්තයෙයි මාරුවෙන් මාරුවට හිටපු එකනේ. ඒ නිසා සමහර නිර්මාණවලට මට සම්බන්ධ වෙන්න ලැබුණේ නැහැ. මේ සැරේ තමයි මම අවුරුද්දකට වැඩි කාලයක් එක දිගට ලංකාවේ හිටියේ. සමහර අවස්ථා මගහැරීම ගැන දුකක් නැද්ද? මම මාස තුනෙන් තුනට නෙදර්ලන්තයට ගිය නිසා වැඩ කරන්න ලැබුණෙම නැහැ. හොද අවස්ථා මගහැරුණා. ඒත් මට දුකක් නැහැ. මම මට කරන්න පුළුවන් නිර්මාණ කළා. මම කළ නිර්මාණ අදටත් ප්‍රේක්ෂකයන්ගේ මතකයේ තියෙනවා. ඒ නිසාම කොහේ ගියත් ප්‍රේක්ෂක ආදරය මට ලැබෙනවා . ප්‍රේක්ෂක ආදරය වගේම විවේචනත් ඔබට එනවා ඇති? අම්මෝ ඔව්. සාමාන්‍යයෙන් අපේ ෆේස්බුක් පේජ් එකකට එකතු වෙන්නේ අපිට කැමැති අයනේ. නමුත් සමහර අය ඉන්නවා අපිට බණින්නම අපේ පේජ්වලට එකතු වෙන. මම සාමාන්‍යයෙන් කොටට අඳින්න කැමැති කෙනෙක්. වැඩිය උස මහත නැති නිසා කොටට අඳින එක මට කැතත් නෑ. හැබැයි මම ෂෝට් එකක් හරි ඇඳන් ඉන්න ෆොටෝ එකක් ෆේස්බුක් දැම්මොත් "ඔයා අම්මෙක් නේද කියලා සමහරු බණිනවා. අද වෙනකල් මම මගේ චරිතයට හානියක් වෙන දෙයක් කරලා නැහැ. නිරුවත පෙන්නගෙන ඉඳලා නැහැ. මම නිළියක් වුණාට සාමාන්‍ය විදිහට ජීවත් වෙන කෙනෙක්. ඒ නිසා සාමාන්‍ය ජීවිතේට පහසු විදිහට මම ඇඳුම් අඳිනවා. සමහර මිනිස්සු තේරුම් ගන්නේ නෑ අපිත් සාමාන්‍ය මිනිස්සු කියලා. මම අම්මා කෙනෙක් වුණාට මං අඳින ඇදීම්වලින් කොහොමද හොඳ නරක මනින්නේ. මම දරුවට අවනම්බුවක් නොවෙන්න ජීවත් වෙන්න දන්නවා. මම අවනම්බු වෙන දේවල් කරලා නෑ. විවේචන එල්ල වෙද්දි දරාගන්න පුළුවන්ද? ඉස්සරනම් ඔය විවේචනවලට හිත රිදුණා. ඕනම දෙයකට බණින්න බලාගෙන ඉන්න පිරිසක් ඉන්නවානේ. දැන්නම් ඒ අය කියන ඒවට හිත රිද්දගන්නේ නෑ. ලෝචනා ආයෙත් රංගනයට එකතු වෙනවට සැමියා තහංචි දාලා නැද්ද? නැහැ. එයා දන්නවා මම මට අගෞරවයක් වෙන දේවල් කවදාවත් කරන්නේ නෑ කියලා. මට ගැළපෙන දේ කරන්න එයා මට නිදහස දීලා තියෙනවා. පුතාගෙනුයි සැමියාගෙනුයි ඈත්වෙලා ලොකු කාලයක් ලෝචනාට ලංකාවේ ඉන්න සිදුවුණා නේද? ඔව්. මම ලංකාවට ආවේ 2019 දෙසැම්බර් මාසේ . ජනවාරි මාසේ තමයි පුතා ලංකාවට එන්න හිටියේ. පුතා ඉස්කෝලේ යන නිසා තමයි මම එයාව තියලා ලංකාවට ආවේ. නමුත් කොරෝනා ප්‍රශ්නය එක්ක පුතාව ලංකාවට ගෙන්න ගන්න බැරි වුණා. මට අවුරුද්දකට වැඩි කාලයක් පුතාගෙන් ඈත් වෙලා ඉන්න සිද්ධ වුණා. පුතාගෙන් දුරස් වෙලා ඉන්න හිත හදාගත්තේ කොහොමද? මෙච්චර කාලයක් එයා ළඟ නැතුව මම කොහොම හිටියද කියලා හිතාගන්න බෑ. තාක්ෂණය දියුණු නිසා පුතාටයි මටයි නිතර කතා කරන්න පුළුවන්. ළඟ හිටියම පුතයි මමයි බත් කවා ගන්නවා. දැන් ඉතිං වීඩීයෝ ඇමතුම් අරගෙන මම පුතාට කියනවා, කෝ අම්මට බත් කවන්න කියලා. පුතා කරන්නේ කෑම ෆෝන් එකට ළං කරන එක. එයා ළඟ නැති වෙද්දි එයාව බදාගන්න බැරි වෙද්දි පුදුම වේදනාවක් දැනෙන්නේ. පුතා තාත්තාට ගොඩක් සමීපද? අම්මෝ ඔව්. තාත්තා කියන්නේ එයාගේ පණ. කාටද වැඩියෙන් ආදරේ ඇහුවම අම්මටයි තාත්තාටයි දෙන්නටම කියලා කිව්වට තාත්තාට ගොඩක් ආදරෙයි. ලසන්ත ලංකාවේ හිටියේ නැති කාලෙ වුණත් එයා ලංකාවට ආවම පුදුම බැඳීමක් දෙන්නා අතරේ තියෙන්නේ. තාත්තයි පුතයි එකට ඉන්නවානම් මාව ඕනෙත් නෑ. මේ තියෙන තත්ත්වය එක්ක මට තමයි එයාලා ළඟ ඉන්න නැතුව ලොකුම පාඩුව වුණේ. තිළිණි කෞශල්‍යා විජේසිංහ
 

More News..