brand logo

දකුණේ යකඩ අම්මලා

26 January 2019

ජීවත් වන්නට කවුරුත් කරන්නේ අරගලයකි. ජීවත්වීම අරගලයක් සේ දැනෙන්නේ නැතිබැරි මිනිස්සුන්ටය. ඒ නැති බැරි මිනිස්සුන්ගේ ජීවන අරගලයට ගැහැනු, පිරිමි බේදයක් නැත. ඒ නිසා ගැහැනු, පිරිමි බේදයකින් තොරව ඔවුන් ජීවන අරගලය ජයගන්නට වෙහෙසෙන්නෝය. ජීවන අරගලය ජයගන්නට වෙහෙසෙන බොහෝ දෙනෙක් දකින්නට ලැබෙන්නේ මහමගදී, මඟ තොටදී, කඩපොළේදීය. අව් කාස්ටකේ පිච්චෙමින් සේම මහ වැස්සේ තෙමෙමිනුත් එදාවේල සරිකරගන්නට වෙහෙසෙන අය අතරේ පිරිමි පමණක් නොව කාන්තාවෝ ද විශාල වශයෙන් සිටිති. ඔවුන් ගමේ සිට නගරය දක්වාම සිටින මුත් මේ කියන්නට යන්නේ නගරයේ සැප පුටු මත ජීවන අරගලයේ යෙදෙන කාන්තාවන් ගැන නම් නොවේ. ගමේ පලා විකුණන්නියගේ පටන් නගරයේ ලොතරැයි විකුණන්නියගේ ජීවිතයේ ඇත්තේත් දරිද්‍රතාවයේ දුක්ඛිත කතාන්දරයයි. ඒත් ඔවුන් යකඩ ගැහැනුන් වී ජීවන අරගලය ජයගන්නට වෙහෙසෙති. ගමටත් වඩා අද නගරයේ පොළවල්වල බඩු විකුණන කාන්තාවන් වැහිවැහැලාය. ඒ කාන්තාවන් සියල්ලෝම අවුරුදු පනහ ඉක්මවූවන් වීමත් විශේෂයකි. මේ ඔවුන් සොයා දකුණු පුරවරයේ කළ සංචාරයකි. ගාල්ල පොළේ පලා විකුණන වයස්ගත මාතාවකි. තව කාන්තාවක් ලොතරැයි විකුණන්නීය. ගාල්ලේ කොත්තු රොටී ගහන අක්කා නම් රුවැත්තියකි. තව තැනක ඉන්ධන පිරවුම්හලේ තෙල්ගහන අක්කා ද කීවේ ජීවත් වෙන්නට කරන යුද්ධය ගැනයි. “කෙසෙල් මුව ලාභයි” කියමින් තවත් කාන්තාවක් කෑ ගසන්නීය. කිරල විකුණන කිරල අම්මා කිරිල්ලියක් වැනි ය. ජම්බු, කෙසෙල්, අල, පුවක් නේක දෑ වෙළඳාම් කරන වට්ටි අම්මලාට මහ අව්ව ගානක් නැතුවා මෙනි. කොස් පළුවක්, කොස් මදුළු, පොළොස් ගෙඩි විකුණන වට්ටි අම්මාවරුන්ද තවත් තැනකය. ගිනි අව්ව නම් කමක් නැත. වැස්ස කොස් අම්මලාගේ සිහිනය බොඳ කරයි. කොස් මදුළු සියල්ලම වැස්සට තෙමී ගිය විට වෙළඳාමක් නැත.කඩ පොළවල මෙන්ම සති පොළවල ද මේ කාන්තාවෝ සිටිති. එසේත් නැතිනම් නගරයේ පදික වේදිකාවේ ලද ඉඩක සිට වෙළෙඳාම් කරන වෙළෙන්දියෝත් ඇත. ජීවත් වන්නට මලු පැදුරු වියන්නා වූ අම්මලා එකල නම් ගෙන් ගෙට ගොස් ඒවා විකුණා කීයක් හෝ සොයා ගත්තෝය. මාළු විකුණන කාන්තාවෝ අදටත් සමහර ස්ථානවල දැකිය හැකිය. බුලත් විට විකුණන කාන්තාවන් සුලභය. කිරි විකුණන කිරි අම්මලාද, බත් විකුණන බත් අම්මලාද සිටිති. වට්ටියක මල් මිටි තබාගෙන විකුණන අම්මලා ඇසට අමුතු නැත. පාන් බනිස්, එළවළු, පලතුරු විකුණන කාන්තාවන්ගේ කතාන්දර කොතරම් සුදු ද, කළු ද කියා දැනගත හැක්කේ ඔවුන් හා කතා කිරීමෙන්ම පමණි. . "රස පලතුරු තරමට අපේ ජීවිත රසවත් නෑ මහත්තයෝ." ගාල්ල මහා විදියේ දී හමු වූ පලතුරු විකුණන සීතා කියන්නීය. "පවුලේ 08 දෙනෙක් නඩත්තු කරන්නෙ මම. දවසේ වැඩ පටන් ගන්නේ උදේ 7ට විතර. වැඩ අවසන් වෙන වෙලාවක් කියන්න බැහැ. මොකද ගත්තු බඩු ටික විකුණන්න රෑ 7, 8 වෙනකම් වුණත් වෙළෙඳාම කරන්න ඕන. පැය අටේ කතාව අපට අදාළ නැහැ. වැඩ තමයි ඉතින්. අපි මහන්සි වෙන තරමට තමයි අපේ බඩ කට පිරෙන තරම තීරණය වෙන්නේ." මහන්සි වෙනකොට ආදායම ලැබෙයි. එවන් දිනයට සීතලාගේ ගෙදරටත් හොඳය. ඒත් ජීවිතේට නිවාඩුවක් නැත. නිවාඩුවක් ගත්තොත් එදාට ආදායමක් නැත. "රජයේ නිවාඩු දින, කම්කරුවන්ගේ දිනය ලෙස කතා කරන මැයි පළමු වැනි දිනත් අපට විශේෂ දවසක් නෙවෙයි. මම පලතුරු විකුණන එක විතරයි කරන්නේ. ඒත් මම විකුණන පලතුරු හදන ගොවියාට මේ තුළින් සේවාවක් වෙනවා. ගොවියාගෙන් පලතුරු අරගෙන අපට විකුණන කෙනාටත් මේ තුළින් සේවාවක් වෙනවා. මම පලතුරු විකුණන තරම අනුව තමයි අනෙක් අයගේ ආදායම තීරණය වෙන්නේ. ඒ වගේම පලතුරු වගාකරුවා ළඟ කම්කරුවන් වැඩ කරනවා නම් ඔවුන්ගේ ආදායම කොතරම්ද කියලත් මේ තුළින් තීරණය වෙනවා. ඒත් අපි කරන සේවාව ගැන කවුරුත් කතා කරන්නේ නැහැ." කතරගම කිරි වෙහෙර පූජනීය තැනකි. ජීවිතය ගැන මෙනෙහි කරන්නට හැකි පින්බර තැනකි. කිරි වෙහෙරට යන එන දහසකුත් සැදැහැවතුන් ඒ මග දෙපස ඉන්න මල් විකුණන වෙළෙන්දියන් දෙස නොබලා යන්නේ නැත. එක දිගට ඇහෙන මල් කෙල්ලන්ගේ වදන් හදවත කීරි ගස්සයි. ඒ වෙළඳාම ඇතුළේ වෙනස්ම ජීවිත කතා වේ. ඒවා සුන්දර ද අසුන්දර ද දුකද සැපද අනුවේදනීය ඒවාද කියා බැලූ බැල්මට පෙනෙන්නේ නැත. ඒත් ඔවුන්ගේ කතා ඇසූ කල්හී ඒ ජීවිත මල් තරම් සුන්දර නැති වග කාටත් දැනෙයි. මල් විකුණන ඩී. ජයවතී. කොග්ගල කුමාරි, ගොවියාපාන සිරිමලී, කිරින්දේ එස්. සිරියලතා, වටවනගේ කුසුමාවතී, ඩී.ඒ. අමරලතා කී කතා ඇතුළේ මේ කතාව ද අගනේය. "මල් පොහොට්ටුව පරිස්සමට අරගෙන වතුර බින්දුවලින් තෙත මාත්තු කරල සීරුවට අගේට ඒ මල් පූදින්නේ මල් විකුණන අපේ අතින්. කාසි පනම්වලට ඒ මල් විකුණන්නේ ඒ වෙළෙඳ‌ාම කරන්නෙත් හරිම මැදහත් හිතකින්. කාගේ හරි සැදැහැවතකුගේ දෝතින් ඒ මල් මහ සෑ රදුන්ට පූජා කරන වාරයක් වාරයක් පාසා ඒ පිනෙන් එක අංශු මාත්‍රයක් ඔවුන්ට ලැබේවා කියලයි මම පතන්නේ. හිමිදිරි පාන්දර ළඟපාත වැවකින් තමයි මේ පොහොට්ටු නෙළා ගන්නේ. වැස්ස අඩු වැඩි වෙනකොට මල් පිපෙන ප්‍රමාණය වෙනස් වෙනවා. ඒ නිසා මේ ව්‍යාපාරය තනිකරම සොබාදහමේ ආශිර්වාදය එක්ක තමයි පවතින්නේ." වැස්ස වලාහක දෙවියෝ මේ ජීවිතවල දුක දන්නා නිසාදෝ මොන තරම් නියං සමයක වුවත් කාටත් හොරා මැදියමේ වැටෙන පොදයකින් හෝ ඔවුන් වෙනුවෙන් මල් පුබුදුවයි. සැබෑව නම්. මල් කොයිතරම් අත ගෑවත්, මල්ගොඩේ හිටියත් මල් පෙත්තක් වගේ ඒ ජීවිත නම් සිනිදු සියුමැලි නොවීමයි. මල් වන් සුවඳ දේ විකුණන කාන්තාවන් අතරේ හොර අරක්කු, කුඩු, ගංජා, රා, විකුණන කාන්තාවෝ ද දැකිය හැකිය. ඒ අය සිදුකරන්නේ වැරදි වැඩක් වුවත් එය කරන්නේත් ජීවත්වන්නටයි. රඹුටන් විකුණන්නියෝ දකුණටත් අඩු නැත. රඹුටන් මලු අතින් ගත් අය ද දකින්නට ලැබේ. “අපි දිනකට රු. 1000ත්, 3000ත් අතර ලාභයක් ලබනවා. අපට පදික වේදිකාවේ වෙළෙඳාම් කරන්න දෙනවා නම් තව ලොකු ලාභයක් උපයන්න පුළුවන්. රඹුටන් විකුණන රඹුටන් වෙළෙන්දියෝ කියති. අහංගම කඩපොළේ පලා විකුණන අහංගම අක්කාගේ වයස 63 කි. ඈ කියන්නේ තවත් කතාවකි. " මම සත විසිපහටත් ගමේ, නගරයේ පොළේ වෙළෙඳාම් කර තියනවා. දරු දෙන්නත් රැක ගන්න එපායැ. දුවිලි කාගෙන මිනිස්සුන්ට කන්න දෙන්න අපි වෙළදාම් කරනවා. පලා මිටියක් අරගෙන මෙතෙන්ට එන්න අපි කොතරම් දුකක් විඳිනවා ද? හේනට ගිහිල්ලා, කුඹුරට ගාටලා බුලත් ටිකක්. කොමඩු ගෙඩියක්, පලා ටිකක්. කෙසෙල් මුව, දෙහි දොඩං වගේ අතට අහුවුණු විකුණන්න හැකි ඕන දෙයක් අරගෙන කර තියාගෙන එනවා. ට්‍රැක්ටරයෙන්. නැති නම් පොළට එන පා පැදියක, නැතිනම් යතුරුපැදියක ගෙනැවිත් බසයේ ද‌ාගෙන කාගේ හරි උදව්වෙන් කඩ පොළට අරන් එනවා. ඉතිං කොන්දොස්තර හොඳ නම් අපටත් හොඳයි. සමහර කොන්දොස්තරලා අපි පාරේ ඉන්නවා දැක්කොත් අනෙක් කෑලි ගන්නෙත් නැතුව සුටුස් ගාලා පිඹගෙන යන්න කියනවා.. සමහරු නම් එහෙම නෑ. මල්ල උස්සලා බස් එකට දමන්නට උදව් කරනවා. බා ගන්නත් උපකාර කරනවා. අපිත් මල්ලිට බුදු සරණයි කියලා බස් එකෙන් බහිනවා, බඩු මල්ලත් අරගෙන. එහෙම තමයි අපි කඩ පොළට බඩු අරගෙන එන්නේ." ගාල්ලේ ලීලාවති මාතාව හැත්තෑපස්වැනි වියේ සිටින වෙළෙන්දියකි. ඈ අපේ මිනිසුන්ගේ මනුස්සකම ගැන කී කතාවකි. " සමහරු පලා මිටි තුනක් අරගෙන දෙකයි කියනවා මම කියනවා මිටි දෙකට නම් රුපියල් හතළිහයයි. හංග ගත්ත මිටියටත් එක්ක හැටක් දෙන්න කියලා. මම නාකි වුණාට පුතා මගේ ඇස් පේනවා. සමහරු හිතන්නේ මම නාකියි කියල. ‘බඩු හරි නෑ අම්මා කියනවා. අඩු නැද්ද අද පලා සවුත්තුයි කියනවා, කලවම්.පලා කියනවා ' එහෙම කියලා හෙට්ටු කරනවා. මමත් වෙලාවකට කියනවා නෝනට ඕන නම් ගන්න නැතිනම් මම මළවන් කනවා කියලා. ඇයි මේ කාන්තාවෝ පලා මිටියටත් මෙහෙම හෙට්ටු කරන්නේ? පිරිමි නම් දුන්න විදියට පලා මිටියත් අරගෙන යනවා. කලිසම් ගහගෙන එන නෝනල තමයි හෙට්ටු කරන්නේ. අඩු නැද්ද අම්මා කියනවා. ඒ ගොල්ලෝ සුපර් මාකට් එකට ගිහිල්ලා වැඩිද අඩුද අහනවාද නෑනේ. කලපු ජලයේ ඔරුවෙන් බෝට්ටුවෙන් හබල්ගාමින් ගොස් මසුන් අල්ලන්නට කිරල, කැරන්, කොහිල, නෙළුම්, අල වර්ග කොළ වර්ග නෙළා ඒවා පොළට ගෙනැවිත් විකුණන්නෙත් ඔවුන්මය. ඩී. ජයවතී මාතාව රුපියල් තිහේ හතළිහේ, පනහේ මිටි ලෙස බැඳි පලා වර්ග, කිරල, නෙළුම් අල, කොහිල අල, කොහිල මිටි, කැරැන් කොළ, කතුරුමුරුංගා ආදිය පොළට රැගෙන යන්නේ වට්ටියක පෙට්ටියක මල්ලක දමාගෙනය. ඇය ජීවිත අනතුරුද පෙසකලා මේ ගමන් යන්නේ ඔරුවෙනි. "කොයි මොහොතක හෝ හැල කිඹුලෙක්ට අහුවෙයිද දන්නෙ නෑ. ඔරුව පෙරළෙන්න බැරි නෑ මගේ පුතේ. මොකද කරන්නේ. එව්වා ගැන හිත හිතා ඉන්න බෑනේ. දරුවන්ට කන්න දෙන්න එපාය. ඒකයි කොග්ගල ඔයේ ඔරු පදින්නෙ " සමහරු නිවෙස්වලට හා ගාල්ල නගරයේ කාර්යාලවලටද ගොස් විකුණුම් කරති. පිරිසිදු ඉරටුවක අමුණන ලද කිරල ගෙඩි පහක හයක මිල රුපියල් පනහක් වේ. රසට සකස් කළ පිරිසිදු කිරල කෝප්පයක් රුපියල් විසිපහට තිහට ගත හැකිය. සිතම්මා මෙන්ම යූ.එස්.සිසිල් නෝනා, ඩී.ජී. සුමනාවතී කිරල විකුණන්නියෝය. කැත්ත, පිහිය, වළල්ල, නියවළල්ල ඇතුව නැතුව කිරල ගස් අතු පතර ඇවිදින කිරල කිරිල්ලියෝ ගස්වල බඩ ගාන්නේ කළ පුරුද්ද, පළපුරුද්ද නැතිනම්, සංසාරගත පුරුද්දට දැයි හිතෙන තරමට ඔවුන් කාර්යශූරය. කර වටයක් දියේ බැස මලුවලට කඩා ගෝනිවලට දමා ගත්, නෙළුම් අල ගෝනි, කැරන් කොළ මිටි, කිරල ගෙඩි දියඹේ සිට කර තියාගෙන එන්නේ පිරිමින් මෙන්ය. ගැහැනු වුවත් ගැහැනු යකඩ ගැහැනුන් සේ පිරිමින් කරන රාජකාරි සියල්ල කරන්නේ එකම එක දේකටය. ඒ ජීවත්වන්නටයි. සත්සරණී තෙන්නකෝන් සුනෙත් ගාල්ලගේ
 

More News..