brand logo

දකුණු අප්‍රිකාවේ සිට ශ්‍රී ලංකා පිල එන යානයට අමුත්තෙක් ගොඩවෙයි

12 January 2021

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ශාරීරික යෝග්‍යතා කාර්ය සාධන කළමනාකරු වශයෙන් දකුණු අප්‍රිකාවේ ග්‍රාන්ට් ලූඩන් පත්කොට තිබේ. ලූඩන් පාකිස්තානය (2014-2019), බංග්ලාදේශය (2008-2019) වැනි ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් කිහිපයක කටයුතු කර තිබෙන අතර ඔහු ශ්‍රී ලංකා පුහුණුකරු මීකී ආතර් සමගින් පාකිස්තානයේ එකට කටයුතු කර තිබීම විශේෂත්වයකි. 2017 වසරේදී අයි.සී.සී. ශූරයන්ගේ ක්‍රිකට් කුසලාන දිනා ගැනීමේදී පාකිස්තානයේ පන්දු රැකීමේ ප්‍රමිතිය ඉහළ නැංවීමේ කටයුත්ත ලූඩන්ට භාරව තිබිණි. ශ්‍රී ලංකාව සමගින් ඉකුත් නොවැම්බර් මාසයේදී ලූඩන් සහභාගි වීමට නියමිතව තිබුණත් උද්ගත වයිරස තත්ත්වය හමුවේ එය ප්‍රමාද වී ඇත. දකුණු අප්‍රිකානු සංචාරයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම නැවත ලංකාවට පැමිණි ගුවන් යානයේම ලූඩන් ලංකාවට පැමිණ තිබේ. මේ වන විට ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම රැඳී සිටින ජෛව ආරක්ෂණ බුබුළ යටතේ රැඳී සිටී. ලූඩන්ගේ පැමිණීම සම්බන්ධයෙන් අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා ‘ලූඩන්ව අපි සාදරයෙන් පිළිගන්නවා. ජාතික සහ නැගී එන ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ගේ ශක්තිය සහ තත්ත්වය උසස් කිරීමේ අංශය වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය අමතර ශක්තිය ඔහුට ලබා දිය හැකි බව අපි විශ්වාස කරනවා’ යි කියා සිටියේය.
 

More News..