brand logo

දකුණු අප්‍රිකාවේ ඉරණම ලංකාවේදී අදාළ නැහැ

07 January 2021

එංගලන්තය සමගින් ලබන 14 වැනිදා ආරම්භ වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී සත්කාරකත්වයේ වාසිය සමගින් ක්‍රීඩා කිරීමට හැකිවීම අමතර වාසියක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසයි. දකුණු අප්‍රිකාව සමග පැවැති ටෙස්ට් තරගාවලිය 2-0කින් පරාජය වීමෙන් අනතුරුව දිමුත් මේ බව කියා තිබුණේය. එහිදී අදහස් දැක්වූ දිමුත් ‘දකුණු අප්‍රිකාවේදී අපිට පන්දුවට පහරදීමට එතරම් ලේසි වුණේ නැහැ. තනි තනිව අපේ ක්‍රීඩකයින් හදාගත යුතු තැන් කිහිපයක් තියෙනවා. නමුත් එංගලන්ත තරගාවලිය ලංකාවේ පැවැත්වෙන නිසා සත්කාරකත්වයේ වාසිය එක්ක අපිට ක්‍රීඩා කරන්න පුළුවන්’ යනුවෙන් කියා සිටියේය. එංගලන්තය සමග පැවැත්වෙන තරගාවලියේදී ඇන්ජලෝ මැතිව්ස් නැවත කණ්ඩායම හා එක්වනු ඇති බව සිය විස්වාසය යැයි කියන දිමුත්, දිනේෂ් චන්දිමාල්ගේ සහ සුරංග ලක්මාල්ගේ ආබාධයන් සුව අතට හැරීම සම්බන්ධයෙන් තමන්ට සුබ ආරංචියක් පැමිණ ඇති බැව් පැවසීය. එමෙන්ම එංගලන්ත තරගාවලියේදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගණ වල ස්වභාවය අනුව දඟ පන්දු යවන්නන් දෙදෙනෙක් සමගින් ක්‍රීඩා කිරීම අපේක්ෂාව බවද, දිමුත් වැඩිදුරටත් කියා සිටියේය.
 

More News..