brand logo

ථූපාරාම පුදබිමේ ප්‍රතිසංස්කරණ කඩිනම් කෙරේ

13 June 2020

ථූපාරාම පුදබිමේ ප්‍රතිසංස්කරණ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ කඩිනම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. පුදබිමට අයත් ඉඩම් නිරවුල් කරදෙන ලෙස ථූපාරාම චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය කහල්ලේ ඥානීන්ද හිමි ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් කර තිබිණ. මේ කරුණු සැලකිල්ලට ගනිමින් ථූපාරාම පුදබිම ආශ්‍රිත සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ. ථූපාරාමය පුරාවිද්‍යාත්මක අගයක් සහිත සිද්ධස්ථානයක් ලෙස පහසුකම් සහිතව සංවර්ධනය කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත. ඊට අදාළ සැලැස්මක් කඩිනමින් සකස් කර දෙවසරක් ඇතුළත වැඩ නිමකරන ලෙස ද ජනාධිපතිවරයා බලධාරින්ට උපදෙස් දී තිබේ. පවරා ගැනීම් සිදුවන තෙක් ථූපාරාමයට අයිති කොටසෙහි සංවර්ධන වැඩ පටන් ගැනීමටත්, පිවිසුම් මාර්ග සැකසීමටත් ජනාධිපතිවරයා උපදෙස් දී ඇත. අනුරාධපුර පැරණි භික්ෂු විශ්ව විද්‍යාලය අයත් පරිශ්‍රය රුවන්වැලි චෛත්‍යාරාමයට පවරාදීමට විසි වසරකට පෙර ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති නමුත් එය මෙතෙක් සිදු වී නැතැයි චෛත්‍යාරාමාධිකාරී ආචාර්ය පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියෝ පැවසූ අතර භික්ෂු විශ්ව විද්‍යාලයේ දැනට භාවිත නොවන පරිශ්‍රය වහාම රුවන්වැලි චෛත්‍යාරාමයට පවරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.
 

More News..