brand logo

තොණ්ඩමාන්ගේ අවමඟුල් උත්සවයේදී නිරෝධායන නීති කැඩුවා - පී.එච්.අයිලාගෙන් චෝදනා

31 May 2020

ආරුමුගම් තොණ්ඩමාන් හිටපු ඇමැතිවරයාගේ අවසන් කටයුතු සිදුකළේ කොවිඩ් නිරෝධායන නීති අමු අමුවේ උල්ලංඝනය කරමින් බවත්, එම අවස්ථාවන්ට සහභාගි වූ අය අතරින් කොවිඩි ආසාදිතයන් හමුවීමක් හෝ පැතිර යාමක් සිදුවුවහොත් තරාතිරම නොබලා ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත්, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසීය. මේ පිළිබඳව අදහස් දක්වමින් තවදුරටත් අදහස් දැක්වූ උපුල් රෝහණ, ‘‘කොවිඩ් -19 පාලනය කිරීම සඳහා ජනතාව, ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය සේවා විශාල කැප කිරීමක් කළා. එම කැපකිරීම්වලදී තමන්ගේ ඥාතීන්ගේ අවමඟුල් උත්සව දිනයක් ඇතුළත අවසන් කිරීමට සිදුවුණා. එමෙන්ම ඇතැම් අවස්ථාවලදී තමන්ගේ දෙමව්පියන්ගේ මෘතදේහයන්ට අවසන් ගෞරව දැක්වීමට දරුවන්ට හැකියාව නොලැබුණා. ඒ වගේම දරුවන්ගේ මෘතදේහයන් දැක ගැනීමට දෙමව්පියන්ට නොහැකි වූ අවස්ථාවන්ද වාර්තා වුණා. නමුත් හිටපු ඇමැති තොණ්ඩමාන්ගේ දේහය ස්ථාන පහකදී මහජන ගෞරවය සඳහා තබා තිබුණා. ඒ සෑම ස්ථානයකටම විශාල ජනතාවක් එක්රැස් වී සිටි බව අපට වාර්තා වී තිබෙනවා. මෙම අවමඟුල් උළෙලින් පසුව යම් ආකාරයකට කොරෝනා රෝගීන් ප්‍රමාණයක් වාර්තාවීමක් හෝ පැතිර යාමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබුණොත් දැඩි නීතිමය පියවර ගැනීමට අපි සූදානමින් සිටිනවා. ඒ සඳහා දේශීය වශයෙන් පමණක් නොව අවශ්‍ය වුණොත් ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට වුවත් අපි පසුබට වන්නේ නෑ’‘ යැයිද පැවසීය. •ජූඩ් සමන්ත
 

More News..