brand logo

තේක්ක දැව ජාවාරම සම්බන්ධයෙන් සැකකරුවන් නිදහස්

18 November 2020

නීති විරෝධී තේක්ක දැව ජාවාරමක් ගවේෂණය කරමින් සිටි මුලතිව් දිස්ත්‍රක්කයේ මාධ්‍යවේදීන් දෙදෙනාට පහර දුන් බව කියන සැක කරුවන් ඒ බව පිළිගෙන ඇප ලබා නිදහස් වන අතරේ' පහදීම සිදුවූ ස්ථානය සමීපයේ පිහිටි වන රක්ෂිතයක් දැව ජාවාරම් කරුවන් විසින් විනාශ කර ඇති බව අධිකරණය හමුවේ හෙළිවී ඇත. පහර දීම සම්බන්ධයෙන් මුල් විමර්ශන වාර්තාවේ අඩුපාඩු සම්බන්ධයෙන් මීට ඉහතදී පොලිස් නිලධාරීන් අලුතින් තොරතුරු ගවේෂණය කර නොවැම්බර් 17 වනදා පොලීසිය අධිකරණයට දැනුම් දී ඇත්තේ මාධ්‍ය වේදීන් දෙදෙනා පහර කෑ ස්ථානය ආසන්නයේ පිහිටි නාගන්චෝලේ රක්ෂිතයේ අක්කර 180 ක භුමියක් දැව ජාවාරම්කරුවන් විසින් විනාශ කර ඇති බවකි. එම අපරාධය සම්බන්ධයෙන් වගකිව යුත්තේ කවුරුන්දැයි පොලිසිය හෙළිකර ගෙන නොමැති බව පැවසේ. මෙහිදී මාධ්‍ය වේදීන්ට පහරදුන් බව නොවැම්බර් මස තෙවන දා නඩු වාරයේදී පිළිගත් ප්‍රධාන සැකකරු යෝගේෂ්වරන් අනුජන් සහ සෙසු සැකකරුවන් දෙදෙනා' වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද දිනයේ අධිකරණ කටයුතු වලටද සම්බන්ධවී ඇති බව පැවසේ. එසේම හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීම සඳහා සැකකරුවන් දෙදෙනා කොවිඩ් අවදානම් තත්වය හමුවේ අධිකරණය හමුවේ කැඳවිය නොහැකි බැවින් ඒ අයුරින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පෙනී සිට' නීතිඥයන් අධිකරණයට දැනුම් දී ඇත්තේ සැක කරුවන් පහරදීම සිදුකළ බව පිළිගන්නා බවයි. මේ අනුව සැක කරුවන්ට ඇප ලබාදෙන ලෙස සැකකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥයන් අධිකරණයෙන් ඉල්ලා ඇත. පසුව සැකකරුවන් තිදෙනාගෙන් කරුණු විමසා මුලතිව් දිසා විනිසුරු එස් ලෙනින්කුමාර්, සැකකරුවකු සඳහා ලක්ෂදෙක බැගින් වූ ඇප දෙකක් මත මුදාහැරීමට නියෝගකර තිබෙනවා. පහර කෑමට ලක්වූ මාධ්‍යවේදීන් දෙදෙනාට නැවත තර්ජන නොකරන ලෙස අවවාද කළ විනිසුරුවරයා සැකකරුවන් තිදෙනාට සෑම මසකම අවසන් සිකුරාදා මුලතිව් අධිකරණයට පැමිණ අත්සන් කරන ලෙසට දැනුම් දී තිබේ. නැවත නඩු විභාගය ලබන වසරේ පෙබරවාරි දෙවන දා දක්වා කල් තබා ඇති අතර වැඩිදුර පරීක්ෂණ පවත්වන ලෙසට පොලිසියට සහ වන සංරක්ෂණ බලධාරීන්ට නියෝග කර ඇත. කැලෑ කොල්ලයේ තොරතරු අනාවරණය කළ දමිළ මාධ්‍යවේදීන් දෙදෙනාට පහරදීම හා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් ගත කර සිටි නෝර්වේ පුරවැසියකු වු ඔස්ලෝ වාසී තිශාන්තන් රාජේන්ද්‍රන්ට මුලතිව් උසාවිය විසින් මීට ඉහතදී ඇප නියමකර තිබුනා. කනපතිපිල්ලෙයි කුමනන් සහ ශන්මුගම් තවසීලන් යන මාධ්‍යවේදීන් දෙදෙනාට පහරදීම සහ මරණ තර්ජන එල්ලකිරීම සහ රක්ෂිත දැව ජාවාරම සම්බන්ධයෙන් පටිගත කල වීඩියෝ සාක්ෂි ඉවත්කිරීම යන චෝදනා සැකකරුවන්ට එරෙහිව එල්ලවී තිබේ. එසේම මුහුදුබඩපත්තු ප්‍රදේශිය ලේකම් කාර්යාලය වෙත තොරතුරු දැනගැනීමේ පනත යටතේ අයදුම්පතක් ඉදිරිපත් කරමින් යෝගේෂ්වරන් අනුජන්ට අයත් බව පවසන කම්බි ගැසු තේක්ක දඬු වැටකින් වටකළ එළි පෙහෙළි කළ ඉඩමක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දෙදෙනා කළ විමසීමකදී අනාවරණය වී තිබුනේ ඉඩම සම්බන්ධ කිසිඳු අයිතියක් ඔහුට නොමැති බවකි. එසේම මේ සම්බන්ධ තොරතරු දිසා විනිසුරු වෙත වාර්තා කිරීමටත් පසුගිය නඩු වාරයේදී මාධ්‍යවේදීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් කටයුතු කර තිබුණි. තවසීලන් සහ කුමනන් වෙනුවෙන් එස්. ධනංජයන්, කනගරත්නම් පාර්තීපන් සහ දුශ්‍යන්ති සිවකුමාර් යන නීතිඥ මණ්ඩලය පෙනිසිට ඇත. මේ අයුරින් ප්‍රදේශයේ සිදුව ඇති වන විනාශය පිළිබඳව පොලීසිය කරුණු අනාවරණය කරගෙන ඇති මුත් වගකිවයුතු කිසිවකුත් මේ දක්වා අත්අඩංගුවට ගැනීමට අසමත්වීම ගැන ප්‍රදේශවාසීහු පොලීසියට චෝදනා කෙරේ.
 

More News..