brand logo

තෙල් මිල අඩු කරන්න අවධානය

18 February 2020

කොවිඩ්-19 වෛරසය හේතුවෙන් බොරතෙල් මිල පහත වැටීමේ වාසිය ජනතාවට ලබාදීම පිළිබඳව ඇමැති මණ්ඩලය දැනුවත් කිරීමට විදුලි බල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර සූදානම් වෙයි. කොවිඩ්-19 වෛරසය නිසා චීනයේ බොරතෙල් ඉල්ලුම පහත වැටීම හේතුවෙන් බොරතෙල් මිල පහත වැටී ඇත. එහෙයින් තෙල් මිල සම්බන්ධව එළැඹෙන බදාදා (19 වැනිදා) පැවැත්වෙන ඇමැති මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැනුවත් කර සුදුසු පියවරක් ගන්නා බව ඇමැතිවරයා ප්‍රකාශ කරයි. පසුගිය රජය විසින් ප්‍රකාශයට පත් කර තිබූ ඉන්ධන මිල සූත්‍රයට අනුව පසුගිය කාලයේ තෙල් මිල රුපියල් 12කින් පමණ ඉහළ දැමීමට සිදු වනු ඇතැයි ඔහු පෙන්වා දුන්නේය. නමුත් වත්මන් රජය මිල සූත්‍රය අහෝසි කිරීම නිසා ඉන්ධන මිල ඉහළ නැංවීමක් සිදු නොවූ බව ඇමැතිවරයා අවධාරණය කරයි. ලොව බොරතෙල් සඳහා ඇති ඉල්ලුම පහත වැටී ඇති බව ජාත්‍යන්තර බලශක්ති ආයතනය උපුටා දක්වමින් විදෙස් පුවත් සේවා වාර්තා කර ඇත. මෙම වර්ෂයේ ලෝක බලශක්ති පරිභෝජනය දිනකට බැරල් හාර ලක්ෂ තිස්පන්දහසකින් අඩු වනු ඇතැයි බලශක්ති ආයතනය ඇස්තමේන්තුගත කර තිබේ. ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 57යි. ශත 31 දක්වා පහත වැටී තිබේ.     උදයජීව ඒකනායක
 

More News..