brand logo

තෙල් පිරිපහදුවේ ස්වර්ණ ජයන්තියට රුපියල් කෝටි පහක් පුච්චන්න යයි

13 July 2019

සපුගස්කන්ද තෙල් පිරිපහදුවට වසර පනහක් සමරන උත්සවයේ වියදම් පියවා ගැනීම සඳහා රුපියල් කෝටි පහක ආදායමක් බලාපොරොත්තුවෙන් සමරු කලාපයක් සඳහා සුබපැතුම් දැන්වීම් එකතු කිරීම ආරම්භ කර තිබේ. ඒ අනුව සංස්ථාව සතුව ඇති ඉන්ධන පිරවුම්හල් දෙසීයෙන් එක් පිරවුම්හලකින් රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ දෙසීයකුත්, බෙදුම්කරුවන්ගෙන් රුපියල් විසිපන්දහසත් පනස් දහසත් (25000-50000) බැගින් පිරවුම්හල් 1050 කින්ද මුදල් එකතු කිරීමට තෙල් සංස්ථාවේ ප්‍රාදේශීය පරිපාලන නිලධාරීවරුන් කටයුතු ආරම්භ කර ඇත. අගෝස්තු 07 දින පැවැත්වෙන සැමරුම් උත්සවයේ වියදම් පියවා ගැනීම සඳහා නිර්මාණය කරනු ලබන සමරු කලාපයට පිරිපහදු කළ ඉන්ධන ආනයනකරුවන්ගෙන් රුපියල් ලක්ෂ දහය බැගින් ආනයනකරුවන් නව දෙනකුගෙන් ලබා ගැනීමටද සැලසුම් කර ඇත. ඊට අමතරව තෙල් සංස්ථාවේ සේවය කරන සේවකයකු රුපියල් සියයක් වටිනා සමරු මුද්දර කවර දහය බැගින් සේවකයින් තුන්දහස් දෙසිය පනහකට අලෙවි කිරීමට ද නියමිතය. තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ ලේකම් නජිත නාඔටුන්නගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ මේ වන විටත් ඇතැම් බෙදුම්කරුවන්ට එම සමරු කලාපයට රුපියල් 25000, 50000 දැන්වීම් ලබාදෙන ලෙසට දන්වා ඇති බවයි. තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ නීල් ජයසේකරගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ කිසිවකුට සමරු කලාපයට දැන්වීම් ලබා දෙන ලෙසට බල කිරීමක් නොමැති අතර කිසිවකුට එසේ මුදල් ඉල්ලා ලිපියක් නිකුත් කර නොමැති බවයි. තෙල් පිරිපහදුවේ අංක තුන්වැනි බොයිලේරුව අක්‍රිය වී ඇති අතර එම මුදල් ඒ සඳහා යොදවන ලෙස සේවකයින් පාලන අධිකාරියෙන් ඉල්ලා සිටියි.
 

More News..