brand logo

තීන්දුවෙන් පසුව විය හැක්කේ කුමක්ද?

13 December 2018

මීට සුළු මොහොතකට පමණ පෙර ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ජනාධිපතිවරයා විසින්පා ර්ලිමේන්තුව විසුරුවා හරින බවට නොවැම්බර් 9 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත වනු ඇත. එහෙයින් ඊට පෙර පැවති පාර්ලිමේන්තුව සහ අගමැති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුව යළි බලාත්මක වනු ඇත. එහෙත් මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත්වීම සහ අමාත්‍ය මණ්ඩලය පත්වීම තවත් නඩුවකින් අභියෝගයට ලක්ව තිබෙන බැවින් ද, ඒ අනුව එම ආණ්ඩුවේ කටයුතු ‘අතුරු තහනම් නියෝගයක්’ අනුව වළක්වා තිබෙන බැවින් ද එම ආණ්ඩුවට නීත්‍යනුකූලභාවයකින් යුතුව කටයුතු කිරීමට හැකියාවක් ද නොපවතිනු ඇත. මේ අතර පසුගියදා පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය සහතික කළ නමුත්, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහට ද යළි ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි වනු ඇත. ඒ පාර්ලිමේන්තුව විසුරුවා හරින විට පැවැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ නීත්‍යනුකූලභාවය පිළිබඳ අවසන් තීන්දුව ලැබී නොමැති නිසා ය. තීන්දුවෙන් පසු උදා වූ නව තත්වය යටතේ, ව්‍යවස්ථාවේ 85-87 වගන්ති අනුව ජනමතවිචාරණයක් කැඳවීමට ජනාධිපතිවරයාට කිසිඳු බාධාවක් නැති වුවත්, එය ද නීතිය ඉදිරියේ අභියෝගයට ලක්විය හැකි අවදානමක් ඇතැ’යි නීතිවේදීහු පවසති. ව්‍යවස්ථාවේ 86 වගන්තියේ දැක්වෙන පරිදි ජනමතවිචාරණයේදී ඇසිය යුතු ජාතික වැදගත්කමකින් යුතු වන නිශ්චිත ප්‍රශ්නය ‘පාර්ලිමේන්තුව විසුරුවාහැරීම හරිද වැරදි ද’ වැනි ප්‍රශ්නයක් වුවහොත්, එය නැවතත් පාර්ලිමේන්තුවේ බලය ඉක්මවා යාමක් වන බැවිනි. ඒ අනුව අද (13 වැනිදා) ලැබුණු අධිකරණ තීනුවෙන් පසුව නැවතත් උදා වී ඇත්තේ, අගමැතිවරයෙකු සහ ආණ්ඩුවක ‘තථ්‍ය පැවැත්මක්’ නොපවතින කාලයකි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඇමති මණ්ඩලය සහ අගමැතිවරයාගේ පත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණය ලැබිය හැකි යැයි දැනට විශ්වාස කරන ජනවාරි 16 වැනිදා වන තුරු ම එය එසේ ම වනු ඇත. මේ අතර හෙට (14 වැනිදා) දිනයේ දී ද තවත් වැදගත් නඩු තීන්දුවක් ලැබෙන්නට නියමිත ය. ඒ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අගමැතිවරයාගේ හා ඇමති මණ්ඩලයේ කටයුතු වළක්වමින් නිකුත් කර තිබෙන ‘අතුරු තහනම’ බලරහිත කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙන අභියාචනය සම්බන්ධයෙනි. යම් හෙයකින් එහිදී ‘අතුරු තහනම බලරහිත කෙරුණොත්’ පමණක්, ජනවාරි 16 වැනිදා තීන්දුව ලැබෙන තුරු ආණ්ඩුවට සුපුරුදු පරිදි කටයුතු කිරීමට බාධාවක් නොමැති වනු ඇත.
 

More News..