brand logo

හරින් රෝහල්ගත කළ තිස්සකුට්ටිගේ පැමිණිල්ල

24 April 2021

  සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි ගිය සතියේ පාර්ලිමේන්තු සභා ගැබේදීත් ඉන් පිටදීත් ගහගත්හ. මේ පහරදීම ගැන තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා සති අග අරුණට මෙසේ අදහස් දැක්වීය. මොකද මේ පාර්ලිමේන්තුවේ ගහ ගත්තේ? මම ගහ ගන්න ගියේ නෑ. හරින් තමයි ගැටුමට මුල. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය පින්තූර සහිත පුවරුවක් ප්‍රදර්ශනය කරන විට හරීන් මන්ත්‍රීතුමා සභා ගැබ මැදට ඇවිත් ජංගම දුරකතනයෙන් එෆ්.බී. එකේ ලයිව් දෙන්න පටන් ගත්තා. එතකොට මේ ගැටුම මුහුණු පොතේ ගැටුමක්ද? මුහුණු පොතේ ලයිව් දෙන එක සමගියේ මන්ත්‍රීවරුන් දිගටම කළ වැඩක්. අපි නිරීක්ෂණය කරලා තිබුණේ වාග් ප්‍රහාර, ජනතාවට උචිත නොවන ගැටුම් තිබෙන විට තමයි මුහුණු පොත භාවිත කරලා සජීවීව දෙන්නේ. හරීන් මන්ත්‍රීතුමාත් රතු පලසටම ඇවිත් සජීවී දෙනකොට තමයි මම පහළට බැස්සේ. තවත් මන්ත්‍රීවරු ආවා. හරින්ගේ ක්‍රියාකලාපය ගැන කතානායකතුමා දැනුවත් කරන්න තිබුණානේ? මම අවස්ථා තුනකදී කතානායකවරයාට ඒ ගැන ප්‍රකාශ කළා. සභා ගැබ තුළ ජංගම දුරකතනයෙන් සජීවි විකාශයක් කරනවා කියලා. නමුත් ඝෝෂාකාරී බව නිසා කතානායකට ඇහුණේ නැහැ. ඉන් පසුව තමයි ගැටුම ඇති වුණේ. මොකද වුණේ? හරින් මන්ත්‍රීතුමා වියරු වැටිලා වගේ පරුෂ වචනයෙන් මට බැන්නා. අනෙක් මන්ත්‍රීවරුන් මගේ සහායට පැමිණියා. කතානායක පාර්ලිමේන්තුව කල් තැබුවා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී පිවිසුම ළඟත් ගහ ගත්තාද? ඔව්. මමත්, මිලාන් ජයතිලක, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, මධුර විතානගේ ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් දාන්න දිවා විවේකයේදී යාමට සූදානම් වුණා. පාස්කු ප්‍රහාරය ගැන හරීින් කළ කතාව පිළිබඳව විමර්ශනයක් කරන්න කියලා. මන්ත්‍රී පිවිසුම ළඟදී හරින් ප්‍රනාන්දු මුණ ගැහුනාම මට මරණීය තර්ජන කළා. ජනපතිට බැන්නා. මමත් ආත්ම ආරක්ෂාවට ක්‍රියාත්මක වුණා. දෙන්නා හොඳටම ගහ ගත්තද? ඔව්. පොලිසිය හා සහෝදර මන්ත්‍රීවරු මැදට පැනලා බේරුවා. ‘‘ගහ ගන්න උඹ එළියට වරෙන් කිව්වා.’’ මම කිව්වා මෙතන ගහගමු කියලා. නමුත් පොලිසිය හරින්ව අරගෙන ගියා. ඔබ දැන් පොලිසියට පැමිණිලි කළාද? ඔව්. වැලිකඩ පොලිසියට පැමිණිලි කළා. ජීවිත ආරක්ෂාවට තමයි පැමිණිල්ල කළේ. මගේ පැමිණිල්ල ගැන ආරංචි වෙලාද කොහෙද හරින් රෝහල් ගත වෙලා කියලා සමාජ මාධ්‍යයේ තිබෙනවා. ඔබ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාට බයද? හරින්ගේ කටට, ශබ්දයට ඇඟේපතේ හයියට මම බය වෙන්නේ නැහැ. පෞද්ගලික න්‍යායපත්‍ර මත දේශපාලනය කරන්න බැහැ. හරින් හරියට මත්ද්‍රව්‍ය භාවිත කළ අයෙක් විදිහට තමයි එතැන හැසිරුණේ. මනස වෙනස් වෙලා සිටින පුද්ගලයෙක් වගේ තමයි හැසිරුණේ. ඔය ගැටුම බදුල්ලටත් සම්බන්ධයි නේද? මෙහෙමයි. 2009 පළාත් සභා මැතිවරණයේදී මම මොනරාගල දිස්ත්‍රික්කයෙන් ඉල්ලුවේ. හරින් බදුල්ලෙන් ඉල්ලුවේ. දෙන්නම දිනුවා. 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී මගේ නම ‘ටිපෙක්ස්’ කළා. නමුත් අපි දෙන්නා සුහදශීලීව දේශපාලනය කළා. හැබැයි මම දේශපාලනික වශයෙන් ඉදිරියට එනවට හරින් කැමති වුණේ නැහැ. ඔහුගේ යටහතේ සේවකයෙක් ලෙස සිටියි කියලා හිතුවේ. ඔබ හරින්ගේ ගෝලයා වුණේ නැති නිසාද මේ ප්‍රශ්නේ? මම මහ මැතිවරණයට බදුල්ල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉල්ලා ජය ගත්තා. මනාප ලක්ෂ දෙකක් ගත්ත හරින් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් කියලා හිතලා බදුල්ලෙන් පැනලා ජාතික ලැයිස්තුවෙන් ආවා. බදුල්ලට අබමල් රේණුවක වැඩක් කරලා නැහැ. බදුල්ලේදී කළේ තම බිරිඳ, දරුවන් අනාථ කරපු එක විතරයි. ඔහු දිගින් දිගටම නවක මන්ත්‍රීවරුන්ට බාධා එල්ල කළා. මමත් දන්නවා පෞද්ගලික කෝන්තරයක් හිතේ තියාගෙන ගැටුම ඇති වුණා කියලා. පළාත් සභා මැතිවරණයේ දී බස්නාහිර මහ ඇමැති සටනට ඔහු ඉල්ලන බව පැවසෙනවා නේද? මම අභියෝග කරනවා පුළුවන්නම් මහ ඇමැති වෙන්න කියලා. ඌවේ ජනතාවට කළ බොරුව බස්නාහිර ජනතාවට කරන්න යනවා. ජනතාව අන්දන්න යනවා. හරින් කියන්නේ අවස්ථාවාදී චරිතයක්. උදයජීව ඒකනායක

හරින්ගෙන්  උත්තර නෑ

තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා නගන චෝදනා හා පාර්ලිමේන්තුවේ ගැටුම පිළිබඳ අපි හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගෙන් විමසීමට දින ගණනාවක් උත්සාහ කළද ඔහු දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට නොහැකි විය. ඔහු සම්බන්ධ කර දෙන ලෙස සමගි ජන බලවේගයේ මාධ්‍ය අංශයට අපි කීවද එයත් ඉටු වූයේ නැත. පසුව දැන ගන්නට ලැබුණේ ඔහු රෝහල්ගතව සිටින බවයි. මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් සිකුරාදා (23 වැනිදා) පෙරවරුවේ කොළඹ පෞද්ගලික රෝහලට ද පැමිණ සිටියහ.
 

More News..