brand logo

රිය අනතුරුවලින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වෙයි

13 April 2021

දමන පන්නලගමදී හා හැටන් නගරයේදී ඊයේ (12 වැනිදා) වූ රිය අනතුරු දෙකකින් සිවිල් ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙක් සහ තවත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව දෙදෙනෙක් තුවාල ලැබූහ. යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් පන්නලගම අනතුර සිදුවී තිබෙන අතර එම යතුරුපැදි දෙක පදවා ඇත්තේ පන්නලගම ප්‍රදේශයේම පදිංචි හතළිස් අටවියේ පසුවන සිවිල් ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකි. අනතුරින් එම දෙදෙනාම ජීවිතක්ෂයට පත්වූ අතර එක් යතුරුපැදියක පිටුපස අසුනේ පැමිණි තවත් පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇත. හැටන් නගරයේ පෞද්ගලික බස් රථයකට යටවීමෙන් තුවාල ලැබූ තරුණයකු සහ තරුණියක් දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු බරපතළ ලෙස තුවාල ලබා සිටි තරුණයා ජීවිතක්ෂයට පත්වී ඇති බව හැටන් පොලිසිය සඳහන් කරයි. 12 දින පස්වරු 2.30 ට පමණ මෙම අනතුර සිදුවී ඇත්තේ හැටන් නගරයේ දුම්රිය පාලම අසලදීය. අනතුරෙන් මියගොස් ඇත්තේ නෝර්වුඩ් පොලිස් වසමට අයත් නෝර්වුඩ් වත්ත පහළ කොටසේ පදිංචි එම්. කරුණාකරන් නමැති 32 හැවිරිදි විවාහක තරුණයෙකි. හැටන් විග්ටන් සිට හැටන් බස් නැවතුම් පොළ දක්වා අධික වේගයෙන් ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගැටී තරුණයා සහ තරුණියට මෙම අනතුර සිදුවී ඇත. හේමන්ත ලියනපතිරණ සිතාර ඉරාෂ් - වටවල
 

More News..