brand logo

තිත්ත වෙන තරමට නළුවෙක් වෙන්න රස්තියාදු වුණා

30 January 2021

මේ දවස්වල ‘බ්‍රෝ’ ටෙලි නාට්‍යයේ කසුන් ලෙසත්, දාම් ටෙලි නාට්‍යයේ නිසල් සහ මිගාර ලෙස ද්විත්ව චරිත නිරූපණයක යෙදෙන ඉෂාන් වන්නිආරච්චි අද දවසේ වැඩිපුර අවධානයට ලක්ව සිටින කෙනෙක්. ටෙලි අඹර පායන යොවුන් තරු අතරේ ඉෂාන් සිටින්නේ වෙනස්ම තැනක. ඒ වෙනස නිසාම ඔහුගේ හෙට දවස බොහෝ සුපහන් වගට මත පළවෙනවා. ඒ නිසාම අද අපි ඉෂාන්ව පිනිපලසේ කතා බහකට එකතු කරගත්තේ. ඉෂාන් වන්නිආරච්චි මොන වගේ චරිතයක්ද ගෘහ නිර්මාණය හා නිර්මාණ කලාව ඉගෙන ගනිමින් රංගනයට ආදරය කරපු කෙනෙක්. ඒ ආදරය නිසා අවුරුදු හත අටක්ම මේ ක්ෂෙත්‍රයේ රස්තියාදු වෙමින් අවස්ථා හොයලා තියෙනවා. ලංකාවේ හයිවේ හදන්න කලින් අම්මලාගෙන් බැණුම් අහගෙන පාන්දර දෙක තුනට මාතර ඉඳන් බස් එකේ කොළඹ ඇවිත් උදේ 8 ට ෂූටිං ගිය අවස්ථා ඕන තරම් තියෙනවා. එහෙම ඇවිත් කරන චරිත සමහර විට කැමරා එකට පේන්නෙත් නෑ. රූප රාමුවේ ඈතින් ඇවිදගෙන යනවා විතරයි. සමහර ඒවගේ රඟපෑවට අන්තිමට මාව පේන්නවත් නැහැ. අන්තිමට හැමදේම අතහැරලා ජපානයට ගියා. ඒත් ආයෙත් කලාවට තියෙන ආදරය නිසාම ආපහු නළුවෙක් වෙන්න ලංකාවට ආවා. නළුවෙක් වෙන්න හිතමින් කැපවීම් කරමින් ඇයි වෙන වෙන දේවල් කළේ... මම උසස් පෙළට කළේ නාට්‍ය හා රංග කලාව, චිත්‍ර කලාව හා භූගෝල විද්‍යාව. 2017 දී සෞන්දර්ය විශ්වවිද්‍යාලයට තේරෙනවා. ඒ වෙද්දි ඉස්කෝලෙ සාමාන්‍ය පෙළ පන්තිවල ඉඳන් රඟපාන්න අවස්ථාවක් හොයාගෙන ඇවිදලා ඇවිදලා හරි හමන් අවස්ථාවක් නොලැබී ගිහින් කලකිරිලා හිටියේ. සෞන්දර්ය පීඨයට ගිහින් ඉගෙන ගෙන ගුරුවරයෙක් හෝ වෙන රැකියාවක් කරනවට වඩා මට ඕන වුණේ නළුවෙක් වෙන්න. ගෙදරිනුත් එන දෝෂාරෝපණත් එක්ක මට හිතුණා කවදාවත් මට නළුවෙක් වෙන්න බැරිවෙයි කියලා. ඒ නිසා මම ආපහු ලංකාවට එන්නෙ නෑ කියල හිතාගෙනයි ජපානයට ගියේ. ජපානයේ අවුරුදු එකහමාරක් විතර ඉද්දි මට අහම්බෙන් කබුකි නාට්‍ය කරන තැනක මාසයක් විතර ඉන්න ලැබෙනවා. එතැනදි මම කබුකි ටිකක් ඉගෙන ගන්නවා. ඒ මාසය ඇතුළත මගේ හිත මාර විදිහට වෙනස් වෙනවා. මට හිතෙනවා ලංකාවට ගිහින් නළුවෙක් වෙන්න ආයෙත් උත්සාහ කරන්න ඕන කියලා. ඒ වතාවේ උත්සාහය මල්ඵල දරනවද? නෑ, එහෙම වුණේ නැහැ. අායෙත් කට්ටක් කන්න වෙනවා. නාළිකා කිහිපයක අවුරුදු කුමාරයා තරගවලට යනවා, ටෙලි නාට්‍ය කරන තැන්වලට ගිහින් රඟපාන්න අවස්ථාවක් ඉල්ලනවා. ඒත් ලැබෙන්නේ පොඩි චරිතයක් විතරයි. ගෙදර අය හිතනවා මම ආපහු ජීවිතය නාස්ති කරගන්නයි හදන්නේ කියලා රස්සාවක් කරන්න කියනවා. ඒ නිසා මම රස්සාවල්වලටත් යනවා. හැබැයි ඒ තැන්වල සති දෙකයි තුනයි ඉන්නේ. මම ආපහු එනවා. 2019 අප්‍රේල් 14 වැනිදා තමයි මගේ මේ ගමන වෙනස් වෙන සිදුවීම වුණේ. ඒ 2019 සිරසේ අවුරුදු කුමාරයා ලෙස ජයග්‍රහණය ලැබීම. ඒ ජයග්‍රහණයෙන් දවස් හතරක් පහක් ඇතුළත නීල පබළු ටෙලි නාට්‍යයේ මනුලගේ චරිතයට ඇරියුමක් ලැබෙනවා. ඉන් පසුව එළැඹෙන්නේ ඉෂාන්ට චරිත ලැබෙන සමයක්ද... ඊට පස්සේ මට කිඳුරාදරී ටෙලි නාට්‍යයේ ක්‍රිෂ්පි බෝයි චරිතය සහ රාවණ ටෙලි නාට්‍යයේ කුවේරගේ පුතා මයුරාජ චරිත ලැබෙනවා. ඇත්තටම මයුරාජගේ චරිතයෙන් තමයි රසිකයන් මාව හඳුනා ගත්තේ. ක්‍රිෂ්පි බෝයිගේ චරිතයටත් තවමත් ප්‍රතිචාර තියෙනවා. මේ දවස්වල නම් දාම් සහ බ්‍රෝ ටෙලි නාට්‍යවලට තමයි ප්‍රතිචාර වැඩිම. මේ අතරින් ඉෂාන්ට විශේෂම නිර්මාණය දාම් වෙනවා නේද... දාම් ටෙලි නාට්‍යයේ නවක නළුවෙක් විදිහට මට විශේෂතා බොහොමයක් තියෙනවා. මොකද මම ඒ ටෙලි නාට්‍යයේ නිසල් හා මිගාර කියන චරිත දෙකම රඟපානවා. ඒ වගේම එම ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයා වන ධනුෂ්ක රත්නායක අයියා මාව පුදුම විදිහට මේ චරිත දෙකට පුරුදු පුහුණු කරනවා. ඉෂාන් ගමේ කොල්ලෙක් නේද... ඔව්, මගේ ගම මාතර වෙහෙරහේන පාරේ කැකනදුර. මගේ අම්මයි, තාත්තයි පොඩි ව්‍යාපරයක් කරනවා. මම කොළඹ ජවිතයට ප්‍රිය කරන කෙනෙක් නෙවෙයි. අදටත් මම කොළඹ බෝඩිමක් තියාගෙන නැහැ. ෂූටිං ආවහම යාළුවෙකුගේ ගෙදරක නතර වෙලා ගමට යනවා. නළුවෙක් වෙන්න ආපු ගමනට දැන් ගෙදරින් පිළිගැනීමක් ලැබිලද? නළුවෙක් වෙන්න තිබුණ මගේ උත්සාහය සමහර අය අතර විහිළුවට පවා ලක්වුණා. ඒ වගේම ෂූටින් ගිහින් රෑ 10,12 ට මාතරට ඇවිත් ගෙදර යන්න බස් නැතිවුණාම මාතරට ඇවිත් මාව එක්ක ගිය ගමේ යාළුවෝ මට හිටියා. මචං උඹට පුළුවන් කියලා මාව දිරිමත් කරපු යාළුවෝ කිහිප දෙනෙකුත් හිටියා. ඉෂාන්ගේ ප්‍රේමයේ හිමිකාරියත් කලාකාරියක්ද? ආදරය කියන්නෙ නැතිවත් බැරි ඇතිවත් බැරි දෙයක්. මමත් ඒ දේ විඳිනවා. ඇය ඉන්නේ ජපානයේ. ඇය කලාවට සම්බන්ධ නැහැ. ඒ විතරක් නෙවෙයි මම නළුවෙක් කියන එකත් ඇයට අදාළම නැති දෙයක්. ධම්මිකා සුරංජි පතිරණ
 

More News..