brand logo

තැපැල් ඡන්දය අද සහ හෙට

31 October 2019

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ කටයුතු අද (31 වැනිදා) සහ හෙට (1 වැනිදා) දිනයන්හිදී පැවැත්වේ. සියලුම පොලිස් ස්ථානවල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ඡන්දය සලකුණු කිරීමේ කටයුතු නොවැම්බර් මස හතරවැනි දා (04) සහ පස්වැනි දා (05) සිදු කෙරෙන අතර, තැපැල් ඡන්දය සලකුණු කිරීමට නො හැකිවූ තැපැල් ඡන්දදායකයන්ට නොවැම්බර් මස හත්වැනි දා (07) අදාළ සහතික කිරීමේ නිලධාරියාගේ කාර්යාලය පිහිටි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ දී පෙරවරු හතේ සිට පස්වරු හතර දක්වා ඡන්දය ප්‍රකාශ කළ හැකි ය. මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම ද නොවැම්බර් හත් වැනිදාට යෙදී ඇත. මෙවර මැතිවරණයේ දී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රජයේ සේවකයන් හය ලක්ෂ පනස් නම දහස් පන්සිය පහළොවක් (659,515) සුදුසුකම් ලබා සිටින බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක කීවේ ය. ජනාධිපතිවරණයේ දී තැපැල් ඡන්දදායකින් වැඩිම පිරිසක් ඡන්දය සලකුණු කරනු ලබන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ හැත්තෑ පන්දහස් නමසිය පනස් හයක්ද (75,956),මහනුවර දිස්ත්‍රික්කයෙන් පනස් පන්දහස් නමසිය අසූ දෙදෙනකුද (55,982), අනුරාධපුර දිස්ත්‍රික්කයේ හතළිස් නවදහස් එකසිය එකක් ද (49,101) තැපැල් ඡන්දය සලකුණු කිරීමට නියමිත ය. තැපැල් ඡන්දදායකයන් අඩුම පිරිසක් වාර්තා වන්නේ මුලතිව් දිස්ත්‍රික්කයෙන් බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල්වරයා කීවේ ය. මුලතිව් දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දදායකයන් සංඛ්‍යාව දෙදහස් අටසිය හතළිස් පහකි (2,845).කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ දෙදහස් අටසිය හැට අටක් ද (2,868), මන්නාරම දිස්ත්‍රික්කයේ හාරදහස් දහයක් ද (4,010) තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති. මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළේ ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කෙරෙන ස්ථාන දැඩි නිරීක්ෂණයට ලක්කරන බවයි. වැඩි වශයෙන් තැපැල් ඡන්දය සලකුණු කෙරෙන ආයතනවලට, සෑම දිස්ත්‍රික්කයකටම මැතිවරණ කොමිසමට සම්බන්ධ නිලධාරීන් සහ සහකාර තේරීම්භාර නිලධාරීවරු යොදවන බවත්, ඔවුන් එම ස්ථානවල රැඳී සිටිමින් තැපැල් ඡන්ද කටයුතු නිරීක්ෂණය කරන බවද කොමසාරිස් ජනරාල්වරයා කීවේය. හමුදා කඳවුරු, පොලිස් ස්ථාන, ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ, අධ්‍යාපන කාර්යාල ආදී තැපැල් ඡන්ද වැඩි වශයෙන් සලකුණු කෙරෙන ආයතන මෙලෙස නිරීක්ෂණයට ලක්කරන බව කොමසාරිස් ජනරාල්වරයා කීවේය. සෑම තැපැල් ඡන්ද මධ්‍යස්ථානයකටම ජනාධිපති අපේක්ෂකයන්ගේ පක්ෂවල නියෝජිතයකු යොමු කළ හැකි බවද ඔහු පැවසුවේය. දෙස් විදෙස් නිරීක්ෂකයන්ටද අවශ්‍ය නම් තැපැල් ඡන්ද ප්‍රකාශ කෙරෙන ආයතන නිරීක්ෂණයට ලක්කළ හැකි බවද කොමසාරිස් ජනරාල්වරයාට වැඩිදුරටත් පැවසුවේය. සාලිය කුමාර ගුණසේකර
 

More News..