brand logo

තැප්‍රෝබේනයෙන් ඉගිලු‍ණු මැන්ඩලීනා

23 October 2020

මැන්ඩලීනය කියන්නේ අපිට තරමක් නුහුරු නමුත් මිහිරි වාදන භාණ්ඩයක්. අපේ රටේදී නම් මැන්ඩලීනයෙන් හරඹ කරන වාදකයන් ඉන්නේ අතළොස්සක්. පසුගිය දවසක සමාජ මාධ්‍ය පුරාම සංසරණය වුණු විශේෂ මැන්ඩලීන වාදනයක් ගැන බොහෝ දෙනකු කතාබහ කළා. ඒ වාදකයන් රැසක් මැද හිඳ අලංකාර වැයුමක් කළ තරුණියක් ගැන. කන්ද උඩරටින් තැප්‍රෝබේනයට ආ ඇය ‘හැඩ වැඩ‘ සමගින් දොඩමලු‍ වුණා. •ඔබේ නම? නටාෂා නිර්මාණි. •ඔබේ පාසල් කාලය සහ විශ්වවිද්‍යාලය ගැන කියනවා නම්? මම පාසල් ගියේ බදුල්ල විහාරමහාදේවි බාලිකා විද්‍යාලයට, එතනින් මම කොළඹ සෞන්දර්ය කලා පීඨයට එනවා. •බදුල්ලෙන් නොදන්න කොළඹට එද්දී මොකද හිතුණේ? අම්මෝ ඒක හරිම අමුතුයි. බදුල්ලයි කොළඹයි කියන්නේ ලෝක දෙකක්.ආපු මුල් කාලේ හැමදාම මම ගෙදරට කතා කරලා අඬනවා මාව ඇවිත් එක්ක යන්න කියලා. •නටාෂා මේ දවස්වල සංසරණය වෙන ඔබේ මැන්ඩලීන වාදන වීඩියෝව ගැන කතා කරමු? ඒක හරිම අහඹුවක්. මගේ අක්කාගේ සැමියා උපුල් සන්නස්ගල සර් ගේ ලොකු රසිකයෙක්. ඔහුට අවශ්‍ය වුණු පොත් කිහිපයක් ගන්න මම දවසක් නුගේගොඩ තිබෙන ‘රෝයල් තැප්‍රෝබේන‘යට යනවා. එදා යම් උත්සව කටයුත්තකට හෝ වැඩසටහනකට සූදානම් වන ස්වරූපයක් තිබුණා. ඒ එක්කම මට මතක් වුණා ‘මිලක් නැති ත්‍රිලක්‘ ප්‍රසංගය ගැන. නමුත් ඒ ගැන නොහිතා මම පොත් තෝරන රාජකාරිය කරගෙන ගියා. ඒ වෙලාවේ සන්නස්ගල සර් මට කතා කළා. මගෙන් ආගිය තොරතුරු විමසුවා.ඒ එක්කම ඇහුවා මම මොනවා කරන කෙනෙක්ද සහ මා වාදනය කරන සංගීත භාණ්ඩ ගැන. සමහරවිට එතුමා කලින් මගේ පරණ මැන්ඩලීන වාදනයක් දැකලාත් ඇති. ඒ නිසා කතා කළාද නැතිනම් එතුමාට කවුරු හරි ඒ ගැන කිව්වද කියලත් පස්සේ මට හිතුණා. නමුත් ඒ වෙලාවේදී මට සන්නස්ගල සර් ‘ මම ඔයාට අවස්ථාවක් දෙන්න යන්නේ.ඔයාට කැමති නම් ඒ අවස්ථාව ගන්න පුළුවන්‘ කියලා කිව්වා. මගේ බෝඩිම තිබෙන්නේ නුගේගොඩට ළඟින්ම. ඒ වෙලාවේ සර් මට කිව්වා ගිහින් ඉක්මනින් ඔබේ මැන්ඩලීනයත් අරන් එන්න කියලා. මම ඉක්මනින්ම ගිහින් මැන්ඩලීනය අරගෙන ආවා. ඇවිත් වාදනය කළා... ඔහු මගේ වාදනයට කැමති වුණා. ඉතින් ඒ ලැබුණු අවස්ථාවේදී මා වාදනය කළේ ගීත දෙකයි. ඒ ‘තනිවෙන්නට මගේ ලොවේ ‘කියන ගීතය සහ තවත් හින්දි ගීතයක්.ඒ දෙක තමා දැන් අන්තර්ජාලයේ සංසරණය වෙන්නේ. •නටාෂා මැන්ඩලීනය වාදනය කරන්න පටන් ගත්තේ? ඒක ඇත්තටම පුදුම කතාවක්. මගේ අක්කා සංගීතය ඉගෙන ගත්ත කෙනෙක්.මගේ තාත්තා මගේ අක්කා ගිය සංගීත පන්තියටම මාව 6 වසරේදී ඇතුළත් කළා. ඒ පන්තියේ උගන්වපු ගුරුතුමාගේ පියා දක්ෂ මැන්ඩලීන වාදකයෙක්. නමින් ඔහු ජිනපාල ඒකනායක. මගේ මුල්ම ගුරුවරයා වෙන්නේ ඔහු. ඉන්පස්සේ හේමපාල පෙරේරා ගුරුතුමා ළඟට මම ගියා. •ඔබ ගත්ත පළමු මැන්ඩලීනය ද? ඒක තාමත් හීනයක් වගේ. ලොකුම ලොකු පොළක් මැද්දෙන් ගිහින් හම්බ වුණු පුංචිම කඩේකින් මගේ තාත්තා මට පළවෙනිම මැන්ඩලීනය අරන් දෙන්නේ. මම ඒකට පණ වගේ ආදරෙයි. ඉතින් ඒ මැන්ඩලීනය මා ළඟ තාමත් තියනවා. •පාසල් කාලයේදී ඔබ මැන්ඩලීනයෙන් ලබාගත් ජයග්‍රහණ ගැන කතා කරමු? පාසල් කාලයේදී මැන්ඩලීන වාදකයෝ බදුල්ලට නම් නැතිතරම්. හරිම අඩුයි. මම ආරාධිත පාසල්වල උළෙල සඳහා වාදනය කරලා තියනවා. ඒ වගේම 2012 සහ 2014 වසරේදී සමස්ත ලංකා දක්ෂතම මැන්ඩලීන වාදකයා වෙලා තියෙනවා. •ඔබ ‘වාදන සංගීතය‘ කොහොමද දකින්නේ? සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්. ඒ වගේම වාදන සංගීතය කියන්නේ හැඟීම් ප්‍රකාශන මාධ්‍යයක්.ගීතයක් නැති වාදනය තුළ අපිට තැන්පත් වෙන්න පුළුවන්. දැහැන් ගත වෙන්න පුළුවන් කියලා මම හිතනවා. •සෞන්දර්ය එක්ක ගත කරන කෙනෙක් විදිහට ඔබට ජීවිතය දැනෙන්නේ? ඇත්තටම ජීවිතේ කියන්නේ දුර ගමනක්. ඒ ගමනේදී අපි කරන කියන දේත් එක්ක තමා අපේ ගමන දුෂ්කර ද සුන්දර ද කියලා තීරණය වෙන්නේ. හැමෝම කැමති ලස්සනට ගලාගෙන යන්න පුළුවන් ජිවිතයක් විඳින්න. •ආදරේ කියන්නේ ? ආදරය කියන්නේ අපිට අත්‍යවශ්‍ය හැඟීමක්. කාගෙන්ද කොහොමද කියලා නෑ. ඒ ආදරය කියන දේ අපිට ලැබෙන වැඩි අඩු ප්‍රමාණයත් එක්ක අපි බාහිරට දක්වන ප්‍රතිචාරය වෙනස් වෙනවා. •නටාෂා මෙතනින් එහාට මොනවාද කරන්න ඉන්නේ ? කරන්න නම් ගොඩක් දේවල් තියෙනවා. මගේ විශ්වවිද්‍යාල අවසන් විභාගය ඉවර වුණේ සැප්තැම්බර් මාසයේදී. එතනින් එහාට මගේම නිර්මාණවලින් සහ වාදකයෙක් විදිහට ශ්‍රී ලාංකේය සංගීතයට කරන්න පුළුවන් හැමදේම කරන්න හිතාගෙන ඉන්නවා. මොකද හැමෝම ගායකයෝ වෙන්න හීන දකිද්දී මම හිතුවේ හොඳම වාදකයෙක් වෙන්න. මං තාම සංගීතය ගැන දන්නේ බොහොම පොඩ්ඩයි. තවත් ඉගෙන ගෙනම ගුරුවරියක් වෙලා තවත් දරුවොන්ට මැන්ඩලීනය කියා දෙන්නටත් මං කැමතියි. •මේ ආපු ගමන පිටිපස්සේ ඔබට වටිනාම කෙනෙක් ඉන්නවා නම් ? ඒ මගේ දෙමාපියන්, අක්කා සහ ගුරුවරුන්. මගේ ඕනෑ එපාකම් මටත් කලින් එයාල හොයලා බැලු‍වා. ඒකට මම ණයගැතියි. ඒ වගේම මගේ පාසල සහ විශ්විවිද්‍යාලයටත් ස්තුති කරනවා. •ඔබට සැබෑ වෙනතුරු දකින හීනයක් තිබෙනවා ද? මම ආසයි ලංකාවේ අපි ආදරේ කරන මැන්ඩලීන වාදකයෙක් වුණු ඇන්තනි සුරේන්ද්‍ර මහතා එක්ක එකම වේදිකාවක වාදනය කරන්න. ඒක මම දකින ලොකුම ලොකු හීනයක්. •අවසන් වශයෙන් අනාගතයේ මැන්ඩලීනයට ආදරය කරන්නෙකුට දිය හැකි ඔවදන? කිසිම දේකට කලබල වෙන්නෙපා.ඉවසීම අපිව ලොකු දුරකට රැගෙන යයි.   චතුර රණසිංහ
 

More News..