brand logo

තාරකා ඉබ්බා ගිය දුරක්

25 March 2019

CITES පාර්ශ්වකරුවන්ගේ 18 වැනි සම්මේලනය මැයි මස 23 වැනිදා සිට ජුනි 03 වැනිදා දක්වා රටවල් 183 ක සහභාගිත්වයෙන් යුතුව කොළඹදී පැවැත් වේ. ලෝකයේ, වෙළෙඳාම නිසා තර්ජනයට ලක්ව අැති සතුන් හා සත්ත්ව ගහන 7 ක් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව ද තනිව හා තවත් රටවල් කිහිපයක් සමග එක්ව එහිදී යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතය. උරගයන් මිහි මත වාසය කළේ මානවයා, ස්වකීය ආධිපත්‍යය සතා සීපාව, ගහකොළ ආදී සියල්ල මත පැතිරවීමට බොහෝ කාලයකට පෙරය. උරගයන්ගේ ඉතිහාසය වසර මිලියන ගණනක් ඈතට දිවයන්නකි. එසේ වුවද මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් එහෙව් උරගයන්ගේ කල දවසද හොඳටම අයහපත් අතට හැරී තිබේ. ඒ අතර සිටින එක් ජීවී විශේෂයක් බවට තාරකා ඉබ්බාද පත්ව සිටී. ඒ තාරකා ඉබ්බාට ඉරණම නපුරු වන්නේ අලංකාර කටුව හේතුවෙනි. මීට වසර කිහිපයකට ඉහත දී ලොව ලොකුම තාරකා ඉබ්බා ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයෙන් හමු වී ඇතැයි පුවතක් පළ විය. තාරකා ඉබ්බන් දැකිය හැකි රටවල් අතර ශ්‍රී ලංකාවද ඉදිරියෙන් තිබේ. ඉන්දියාවේ හා පාකිස්තානයේද තාරකා ඉබ්බන් සිටිති. ඉන්දියාවේ අග්‍රා වැනි ප්‍රදේශවල විශාල තාරකා ඉබි ගහනයක් දැකිය හැකිය. ලංකාවේ සිටින තාරකා ඉබ්බන් මෙතෙක් ඇතුළත් වුයේ CITES II උපලේඛනයටයි. එසේ වුවද මේ සතුන් නීති විරෝධී වෙළෙඳාම, ජාවාරම ඇතුළු කාරණා හේතුවෙන් තර්ජනයට ලක් වී ඇති තරම ගැන අවධානය යොමු කරමින් ඔවුන් 1 උප ලේඛනයට ඇතුළත් කිරීම සඳහා වන යෝජනාව ලබන මැයි 23 වැනිදා සිට ජුනි 03 වැනිදා දක්වා කොළඹ දී පැවැත්වෙන CITES පාර්ශ්වකරුවන්ගේ 18 වැනි සම්මේලන වාරයට ඉදිරිපත් කිරීමටත් නියමිතය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා රජයේ යෝජනාවක් ලෙස එය එම සමුළුවට ඉදිරිපත් කරයි. ඒ සමගම තවත් සත්ත්ව විශේෂ කිහිපයක්ම 2 වැනි උප ලේඛනයේ සිට 1 උප ලේඛනයට ඇතුළත් කිරීමට යෝජනා කෙරෙනු ඇත. CITES පාර්ශ්වකරුවන් වන ලෝකයේ රටවල් 183 ක ඡන්දයෙන් එම යෝජනා සම්මත කර ගැනීම පිළිගත් ක්‍රමවේදයයි. අනෙකුත් රටවල් ද මෙලෙසම තම රටවල ආරක්ෂා කරගත යුතු ශාක හා සත්ත්ව විශේෂ ගැන යෝජනා ඉදිරිපත් කිරීම දැක්විය හැකිය. ‘‘තාරකා ඉබ්බා CITES II වැනි උප ලේඛනයේ සිටියේ 1970 ගණන්වල සිටය. එනම් CITES ආරම්භයේදී පටන්මය. රටකින් තවත් රටකට අවසර ඇතිව රැගෙන යාමේදී වුවද දිගුකාලීන වශයෙන් සත්ත්ව ගහනයට බලපෑමක් ඇති නොවන බවට සහතික කරගත හැකි නම් පමණක් අවසර ලැබිණි. ශ්‍රී ලංකාව, ඉන්දියාව හා පසුකාලීනව පාකිස්තානය ද නව නීති මගින් තාරකා ඉබ්බා, වාණිජමය වශයෙන් අපනයනය තහනම් කර තිබේ. එසේ වුවද මේ සතුන් නීති විරෝධී ජාවාරම්කාරී ලෙස රටින් පිට කිරීම සිදුවිය. ශ්‍ර්‍රී ලංකා රේගුව විසින් එලෙස නීතිවිරෝධීව රැගෙන යාමට වැයම් කරන ලද තාරකා ඉබ්බන් දහස් ගණනක් පසුගිය වසර කිහිපය තුළ අල්ලා ගැනුණේය. ඊට අමතරව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැනි අදාළ අනෙකුත් අංශවලින්ද එවැනි නීතිවිරෝධී ක්‍රියා හෙළිදරව් කර ගැනීමෙන් පසු නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේ. ඒත් අධ්‍යයනයකින් හෙළි වූ පරිදි ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ ගම්මාන 16 කින් වසරක් තුළ පිටකර ඇති තාරකා ඉබ්බන් ගණන 55,000 කට අධික විය. ඉන්දියාවද මේ සතුන් වෙළෙඳාම තහනම් කර ඇතත් මැරීම තහනම් කර නැත. මස් විකිණීම තහනම් වුවද මරා මස් අනුභවය තහනම් කර නැත. රට තුළ පවතින එවැනි තත්ත්ව සම්බන්ධයෙන් CITES යටතේ මැදිහත්වීමක් කළ නොහැකිය. එය කළ හැක්කේ ඒ ඒ රටවල වනජීවී හා වෘක්ෂලතා ආඥා පනත වැනි අණපනත් මගිනි. ශ්‍රී ලංකාවේදී වුවද මෙවැනි සතුන් නීති විරෝධී කාර්යයන් සඳහා යොදා ගෙන අත්අඩංගුවට පත් වූ විට දඩමුදලක් නියම කිරීමට වඩා දැඩි නීති ක්‍රියාත්මක විය යුතුය. දැනට ලෝකයේ ඉහළින්ම ඇත්තේ යුද අවි වෙළෙඳාමය. ඊළඟට පිළිවෙළින් ඖෂධ වෙළෙඳාම හා නීති විරෝධී මිනිස් ජාවාරම පවතී. සිව්වැනි තැනට ඇත්තේ වනජීවී වෙළෙඳාමය. තත්ත්වයේ භයානකකම තේරුම් ගැනීමට එපමණක් වුව ප්‍රමාණවත්ය. නීති විරෝධී ජාවාරම ඇතුළු මානව ක්‍රියාකාරකම් නිසා ඇතැම් ජීවී විශේෂ දැනටමත් මිහි මතින් වඳ වී ගොසිනි. නැතිනම් වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා සිටිති. තාරකා ඉබ්බා CITES II වැනි උප ලේඛනයේ සිට I උප ලේඛනයට ඇතුළත් කිරීම සඳහා වන අතිශය කාලෝචිත යෝජනාව ඉදිරිපත් වන්නේ මෙවැනි පසුබිමකය. දසදහස් ගණනින් ජාවාරම් කිරීමට තාරකා ඉබ්බන් එතරම් වේගයෙන් බෝවීමක් සිදුවන්නේ ද නැත. වැඩුණු සතකු වසරකදී බිත්තර 2-10 අතර සංඛ්‍යාවක් පමණක් දමන අතර ඒවා වෙනත් සතුන් විසින් ගිල දැමීම ආදී උපද්‍රවයන්ට ලක් නොවුණහොත් පමණක් පැටවුන් බිහිවීම සිදු වේ. එලෙස බිහිවන කුඩා පැටවුන්ටද ආරක්ෂිතව වැඩෙන්නට හැකිවිය යුතුය. එසේ වුවද, නීති විරෝධී ජාවාරම් සඳහා බොහෝ විට යොදාගනු ලබන්නේ කුඩාම හෝ විශාල ලෙස වැඩුණු සතුන් නොව අඟල් 6 ක් පමණ වැඩුණු සතුන්ය. සුරතලයට ඇති කිරීම හෝ මස් පිණිස හෝ අන් අවශ්‍යතා සඳහා තාරකා ඉබ්බන් යොදා ගැනීම මගින්. ඔවුන් ජීවත් වූ පරිසර පද්ධතියට ඇතිවුණ බලපැමද අවධානයට ලක්විය යුතුය. ඔවුන් වෙනත් විලෝපිකයන්ට ගොදුරු වනවාක් මෙන්ම ඔවුන් විසින්ද අදාළ පරිසරයේ ආහාර ද්‍රව්‍ය තුළ නිශ්චිත කාර්යයක් ඉටුකරයි. පරිසරයෙන් සතුන් බැහැර කිරීම යනු එම අාහාර දාමය බිඳවැටීමක් මෙන්ම පාරිසරික සමතුලිතභාවයටද බලපෑම් ඇති වීමකි. තාරකා ඉබ්බා, CITES I උප ලේඛනයට ඇතුළත් කිරීමත් සමග මේ සතුන් රටින් පිට කිරීමට හැකියාව ඇත්තේ සත්වෝද්‍යානයකට කරන පරිත්‍යාගයක් ලෙස හෝ පර්යේෂණ කාර්යයක් සඳහා පමණි. එමගින් දැනට ඉතිරිව සිටින සතුන් සංඛ්‍යාව සංරක්ෂණය කිරීමට හැකියාව ලැබෙනු ඇත. ඒ සමගම නීතිවිරෝධී ජාවාරම මැඬලීම ද දැඩිව විය යුතුය. CITES II වැනි උප ලේඛනයේ සිටීම නිසා මේ සතුන් කොපමණ රටින් පිටවී තිබේද, රැගෙනවිත් තිබේද වැනි සංඛ්‍යා වාර්තා කිරීමට හැකි විය. එම දත්ත I උප ලේඛනයට මේ සතුන් ඇතුළත් කිරීමටද බෙහෙවින් එය උපකාරී වී තිබේ. ශ්‍රී ලංකාවේ සිටින ඉබ්බන් අතරින් වැඩිම තර්ජනය ඇත්තේ තාරකා ඉබ්බාටය. වසර 2000-2015 කාල සීමාව තුළ පමණක් ශ්‍රී ලංකා රේගුව හා වනජීවී නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් තාරකා ඉබ්බන් ගණන 34080 කි. වසර 2011-2015 කාල සීමාව තුළ දී රේගුව හා අදාළ අංශ විසින් අත්අඩංගුවට ගත් සජීවී තාරකා ඉබ්බන් ගණන 8533 කි. වර්ෂ 2015-2017 කාල සිමාව තුළ නිදර්ශ 3130 ක් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගැනීම් බොහෝ විට සිදුවන්නේ ගුවන් මගීන් විසින් රැගෙන යාමට වැයම් කිරීමේදීය. එසේ වුවද බෝට්ටු මගින්, වෙනත් නීති විරෝධී දෑ සමග මේ සතුන්ද අනවසරයෙන් ප්‍රවාහනය කිරීම පිළිබඳ අවධානය යොමු වී තිබේ. එලෙස අප දකින්නේ, අයිස් පරයේ මුදුන පමණි. නොපෙනෙන අභ්‍යන්තරය ඊට වඩා බරපතළය. සංඛ්‍යා දත්ත මගින් පිළිබිඹු වන චිත්‍රය ඊට වඩා තුන් හතර ගුණයක් හෝ ඊටත් වඩා බරපතළ විය හැකිය. නීති විරෝධී ජාවාරම හැරුණු විට අභිචාර විධි සඳහාද, කෘෂිකාර්මික කටයුතු සඳහාද වනාන්තර එළිපෙහෙළි කිරීමේදීද, මාර්ග අනතුරු හේතුවෙන්ද තාරකා ඉබ්බන්ගේ ගහනය ක්‍රමයෙන් අඩුවෙමින් යන්නේය.
 

More News..