brand logo

තායි හරහා ගෝඨා එන්නේ මිරිහානටද

14 August 2022

මසකට පසු හිටපු ජනපති යළි එළියට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බව ඔහුගේ සමීපතම මැති ඇමැතිවරුන්ට රහසක් නොවේ. ඊට හේතුව හිටපු ජනපතිවරයා පුරවැසිකම අත් හල ඇමරිකාවට ඔහුට නැවත යාමට නොහැකි වීමය. හැරැත් ඇමරිකාවේ සිටින තම පුතාගේ ආරක්ෂාව ගැන කල්පනාකළ හිටපු ජනපතිවරයා දිගුකලක් ඇමරිකාවට යාමට අකැමැති විය. ඔහුට එහි යාමට බැරි වුවද ඇමරිකා පුරවැසිභාවය හිමි අයෝමා රාජපක්ෂට එහි යාමට හැකිය. එනමුත් ඇය මේ මොහොතේ තීරණය කළේ සිය සැමියා සමග සිටීමටය. කෙසේ නමුදු ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධනද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ අනාවරණය කරන ලද්දේ හිටපු ජනාධිපතිවරයා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට කැමැත්තෙන් සිටින බවත්, ඒ වෙනුවෙන් පහසුකම් සැලසීම ශ්‍රී ලංකා රජයේ වගකීමක් බවත්ය. කෙසේවෙතත් පසුගිය සතියේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශයක් හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව පහසුකම් සැලසීමට කොතරම් දුරට සූදානම්ද යන්න මේ වන විට ප්‍රශ්නගතවී තිබේ. එක්සත් ජනපදයේ 'වෝල් ස්ට්‍රීට් ජර්නල්' පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති රනිල් කියා සිටියේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවට පැමිණීමට මෙය සුදුසු කාලය නොවන බවයි. ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය සමග පොරබදමින් සිටින රට තුළ නැවතත් දේශපාලන ආතතීන් ඇවිළවිය හැකි බැවින් හිටපු ජනාධිපතිවරයා මේ මොහොතේ මෙරටට පැමිණීම තමන් අනුමත නොකරන බව ජනධිපතිවරයා පෙන්වාදී තිබිණි. හිටපු ජනාධිපතිවරයා ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණීමට සැලසුම් කර ඇති බවක් තමාට වාර්තා වී නොමැති බවත්, ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙන බවට මෙතෙක් 'ඇඟවීමක්' කර නොමැති බවත් ඔහු කීය. හිටපු ජනාධිපතිවරයා පිළිබඳ ජනාධිපති රනිල්ගේ මෙම ප්‍රකාශයේ සැබෑ අරමුණ මෙම සම්මුඛ සාකච්ඡාවේදී, පැහැදිලිව අනාවරණය නොවූවත්, සමස්ත සම්මුඛ සාකච්ඡාවම කියවන විටදී අවබෝධ වන කරුණක් වන්නේ, මේ මොහොතේ ගෝඨාභය හිටපු ජනාධිපතිවරයා මෙරටට පැමිණියහොත් රට තුළ නැවත සිවිල් නොසන්සුන්තාවක් උද්ගතවනු ඇතැයි වත්මන් ජනාධිපතිවරයා තක්සේරු කර ඇති බවයි. එවැනි නොසන්සුන්තාවක් ඇතිවුවහොත්, මේ වන විට සියලුම දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කරමින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ගන්නා උත්සාහයට එය බාධාවක් වනු ඇති බවත්, එසේ වුවහොත් අන්තර්ජාතික මූල්‍ය අරමුදලින් ලබාගැනීමට අපේක්ෂා කරන 'ණය වැඩසටහන' සාර්ථක කරගැනීමට නොහැකිවනු ඇති බවත් තමන් සිතන බව, මෙම සම්මුඛ සාකච්ඡාවෙන් එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවලට ඇඟවීමට ජනපති රනිල් උත්සාහ කරන බව නම් එහිදී දැකගත හැකිවිය. ජනාධිපතිවරයා එසේ පැවසුවද හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් මේ වන විට මැදිහත්වෙමින් සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධානීන් පවසන්නේ අගමැති කාර්යාලයේ මැදිහත්වීමෙන් ඔහුට අවශ්‍ය පහසුකම් සැලසීමට අදාළ රටවල් සමග සන්නිවේදනයන් පවත්වාගෙන යන බවයි. පසුගිය මාසයේ හිටපු ජනාධිපතිවරයා කොළඹින් මාලදිවයිනට ගියේ රාජපක්ෂ පවුලේ හිතෛශියකු වන මාලදිවයින් හිටපු ජනපති හා කතානායක මොහොමඩ් නෂීඩ්ගේ මැදිහත් වීමෙනි. වසර කීපයකට පෙර ඔහුට එරටදී මරණ තර්ජන එල්ල වූ අවස්ථාවේදී ඔහුට ලංකාවේ රැකවරණය දුන්නේ මහින්ද රාජපක්ෂ ජනපතිවරයාය. මාලදිවයිනේ සිට සිංගප්පූරුවට ගිය ඔහු එහි මසක් සිටියේය. රටේ ජනතාව පසුගිය බදාදා වනතුරු දැනසිටියේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පුරුවේ සිටින බවත්, තවත් මද කාලයක් එරට රැඳී සිටීමට ඔහු උත්සාහ කරමින් සිටින බවත්ය. සිංගප්පුරු රජයේ ප්‍රකාශකයන්ද සඳහන් කර තිබුණේ ඔහුගේ පාර්ශ්වයෙන් එවැනි ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත්, දී තිබූ විශේෂ 'රැඳී සිටීමේ බලපත්‍රය', එහි වලංගු කාලය අවසන් වීමට නියමිතව තිබූ අගෝස්තු 11වැනිදා සිට තවත් දින 14කට දීර්ඝ කිරීම සඳහා සලකා බලන බවයි. එහෙත් පසුගිය බදාදා තායිලන්තය විසින් හදිසියේ නිකුත් කරන ලද නිවේදනයක් හේතුවෙන් හිටපු ජනාධිපතිවරයාගේ වාසස්ථානය පිළිබඳ කතාබහ මුළුමනින්ම වෙනස් මාවතකට ගමන් කළේය. තායිලන්තයට ඇතුළු වීමට ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් ලැබී ඇති බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකා ටැනී සංග්‍රාට් බදාදා ප්‍රකාශ කරනු ලැබීය. ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක හිමිකරුවෙක් ලෙස හිටපු ජනාධිපති රාජපක්ෂට දින 90ක් දක්වා වීසා නොමැතිව තායිලන්තයේ රැඳීසිටිය හැකි බවත්, එම රැඳී සිටීම තාවකාලික බවත්, ඔහු දේශපාලන රැකවරණ පතන්නේ නැති බවත් සංග්‍රාට් පවසා තිබිණි. එම ප්‍රකාශයෙන් පැය කිහිපයකට පසුව තායිලන්ත අගමැතිවරයාද ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයා සිය රටට පැමිණීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළේය. ගෝඨාභය රාජපක්ෂට තාවකාලිකව එරට රැඳී සිටීමට අවසර දීමට තායිලන්තය එකඟ වී ඇති බවත්, එම කාලය තුළ ශ්‍රී ලංකා හිටපු ජනාධිපතිවරයා ඔහුට ස්ථිර රැකවරණය ලබා දෙන 'තුන්වන රාජ්‍යයක්' සොයන බවත් අගමැති ප්‍රයුත් චාන්-ඕ-චා සඳහන් කරනු ලැබීය. 'මානුෂීය හේතූන්' මත 73 හැවිරිදි ශ්‍රී ලංකා නායකයාගේ තාවකාලික සංචාරය තායිලන්ත අගමැතිවරයා එහිදී තහවුරු කළේය. වෙනත් රටක ස්ථිර රැකවරණ සෙවීමේදී තායිලන්තය තුළ සිට ඔහු දේශපාලන කටයුතු නොකරන බවට තමාට පොරොන්දු වූ බවද අගමැතිවරයා පැවසීය.

"මෙය මානුෂීය ප්‍රශ්නයක්. එය තාවකාලික රැඳී සිටීමක් බවට අපි පොරොන්දු වී ඇත. ඔහුට කිසිදු දේශපාලන ක්‍රියාකාරකමකට ඉඩ නොදේ. මෙය ඔහුට රැකවරණය ගැනීමට රටක් සොයා ගැනීමට උපකාරී වනු ඇත" යැයි ප්‍රයුත් උපුටා දක්වමින් බැංකොක් පෝස්ට් පුවත්පත වාර්තා කර තිබිණි.

කෙසේ නමුදු තායිලන්තය හෙවත් සියම් දේශය සමග බුදු දහම මූලික කරගෙන ශත වර්ෂ ගණනාවක් දුරට ඇති සමීප සබඳතාවක් ලංකාවට ඇත්තේය. එමෙන්ම රාජපක්ෂ පවුලට තායිලන්තයේ දේශපාලනඥයන් සමග සබඳතා ඇති බව නොරහසකි. එකල තායිලන්තයේ ජනපති වසීම් තක්ෂින් ෂිනවත්‍රාට තර්ජන එල්ලවූ අවස්ථාවේ දී ජීවිත ආරක්ෂාව පතා ඔහුට ලංකාවේ රැකවරණය දුන්නේ මහින්ද රාජපක්ෂ ජනපති ධුරය දැරූ කාලයේය. එදවස ඔහුට හමුදාවේ ප්‍රභූ ආරක්ෂක රැකවරණද සලසා තිබුණි. එබැවින් තායිලන්තය රාජපක්ෂ පවුලට ප්‍රති උපකාර කිරීම අමුත්තක් නොවේ. හිටපු ජනපතිවරයා ඉකුත් 11දා බැංකොක් වේලාවෙන් රාත්‍රි 8.00ට පමණ තායිලන්තයේ දොන් මුවාන්ග් ගුවන්තොටුපොළට පැමිණියේ සිය බිරිඳ අයෝමා රාජපක්ෂ සමගය. මසකට පසුව ප්‍රසිද්ධියේ එළියට පැමිණි ඔහු නිල් පැහැති ජර්සියකින් සැරසී සිටියේය. ඒ අවස්ථාවේදී තායිලන්ත ආරක්ෂක නිලධාරීහු හිටපු ජනපතිවරයාට ආරක්ෂාව සපයා තිබුණි. මේ අතර තායිලන්ත විදේශ ඇමැති දොන් ප්‍රමුද්විනායිද පවසා තිබුණේ, මෙම සංචාරයට ශ්‍රී ලංකා රජය විරුද්ධ නොවූ බවය. තායිලන්ත රජය ඔහුට ස්ථිර නවාතැන් පහසුකම් සලසා නොදෙන බවත් තායිලන්තයට ප්‍රශ්න ඇති නොකළයුතු බව හිටපු ජනාධිපතිවරයාට සිය රටේ රැඳීසිටීමට පනවා ඇති කොන්දේසියක් බවද ඇමැතිවරයා පෙන්වාදී ඇත. පසුගිය සතියේ වාර්තා වූ මෙම සිදුවීම් පෙළත් සමග හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ස්ථිර නැවතුම කොතැනක වේදැයි යන්න මේ වන විට ගැටලු සහගතවී ඇති බව පෙනෙන්නට තිබේ. විශේෂයෙන් තායිලන්ත අගමැතිවරයා කර ඇති අනාවරණයට අනුව දැකගැනීමට හැකියාව ඇත්තේ, හිටපු ජනාධිපතිවරයා මේ වන විට කිසියම් රටක 'ස්ථිර රැකවරණය' සොයමින් සිටින බවයි. එම ප්‍රකාශයට අනුව, මෙතෙක් ශ්‍රී ලාංකිකයන් නොදැන සිටි අලුත් කතාවක් කරළියට පැමිණ ඇත. එනම් හිටපු ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකාවට පැමිණීමේ සූදානම පිළිබඳව මෙරට රජයේ ප්‍රකාශකයන් පවා ප්‍රසිද්ධියේ රටට පවසා තිබියදී, එක්කෝ ඔවුන් දැනුවත්ව හෝ, නැත්නම් ඔවුන් නොදැනුවත්ව, හිටපු ජනාධිපතිවරයා යම් රටක ''ස්ථිර රැකවරණය' සහිතව දීර්ඝ කාලීනව පදිංචිවීමට පවතින හැකියාව පිළිබඳව මේ වන විට සොයාබලමින් සිටින බවයි. ඒ අනුව ජනාධිපති රනිල් විසින් 'වෝල් ස්ට්‍රීට් ජර්නල්' පුවත්පතට කර ඇති ප්‍රකාශය යම් ප්‍රමාණයකට සත්‍යවන බවත්, හිටපු ජනාධිපතිවරයා ළඟකදී නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේ සුදානමක් නොමැති බවත් පෙනෙන්නට තිබේ. කෙසේහෝ වේවා දැන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තවදුරටත් කඩින්කඩ, රටින් රටට මාරු නොවී අවම තරමින් දින 90ක කාලයක් එනම් තෙමසක් තායිලන්තයේ රැඳී සිටීමට අවස්ථාව උදාවී ඇත. බැංකොක්හි නවාතැන්ගෙන සිටින එම මාස තුනක කාලයේදී ඉස්පාසුවක් සහිතව තමාගේ අවසන් නැවතුම කොතැනක විය යුතුද යන්න ඔහුට තීරණය කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි සිතිය හැකිය. ඇතැම්විට ඔහු කෙසේහෝ නැවත එක්සත් ජනපදයට යෑම සඳහා වීසා ගැනීමට උත්සාහ කිරීමට පුළුවන. එසේත් නොමැති නම් සිය තායිලන්ත අගමැතිවරයා පවසන ආකාරයට වෙනත් රටක 'රැකවරණය සහිත' ස්ථිර පදංචිය වෙනුවෙන් සැබවින්ම උත්සාහ කරනු ඇත. කෙසේවෙතත් මෑත කාලීන ශ්‍රී ලංකාවේ අනාවැකි කීමට නොහැකි දේශපාලන පරිසරය හමුවේ, මුලින්ම කීලෙස තායිලන්තයේ සිට ගෝඨාභය රාජපක්ෂ අවසානයේ කෙළින්ම කටුනායක හරහා මිරිහානට පැමිණෙන්නට බැරිකමක් නැත. නයන තරංග ගමගේ
 

More News..