brand logo

තායිලන්තයේ රැකියා දෙන බව පවසා අන්තර්ජාලයෙන් මුදල් වංචා කරලා

22 July 2020

තායිලන්තයේ රැකියා ලබා දෙන බව පවසා අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළකරමින් මුදල් වංචාකළ ජාවාරමක් පිළිබඳව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට තොරතුරු අනාවරණය වී තිබේ. තායිලන්තයේ ආරක්ෂක සේවයේ රැකියා අවස්ථාවන් සඳහා පුද්ගලයින් තෝරා ගෙන, එම රැකියා සඳහා මුදල් ලබාදුන් පසු පොරොන්දු වූ පරිදි රැකියා ලබා නොදෙන බවට පුද්ගලයින් පිරිසක් පැමිණිලි කර තිබෙන අතර මේ පිළිබඳව තායිලන්තයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයෙන් කරුණු සොයා බලා ඇති අතර, ලාංකිකයින්ට තායිලන්තයේ එවැනි රැකියා අවස්ථාවන් නොමැති බව තානාපති කාර්යාලය විසින් ද තහවුරු කර ඇත. මෙම ජාවාරම මෙහෙය වූ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා කාර්යාංශය විසින් මෙම පැමිණිල්ල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබේ. කිසියම් රැකියා නියෝජිතායතනයක් විදේශ රැකියා ලබාදීම වෙනුවෙන් ප්‍රසිද්ධ මාධ්‍යයන් හි දැන්වීම් පළකරන්නේ නම්, 2009 අංක 56 පනතින් සංශෝධිත 1985 අංක 21 දරණ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතේ 37 සහ 37 (අ) වගන්ති විධිවිධාන අනුව ලිඛිත පුර්ව අනුමැතිය කාර්යාංශය වෙතින් ලබා ගත යුතුය. යම් අයෙකු විදේශ රැකියාවක් සඳහා යොමුවීමට බලාපොරොත්තු වන්නේ නම් 1989 ක්ෂණික දුරකථන අංකය මඟින් රැකියාව ලබාදෙන නියෝජිත ආයතනය කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිතායතනයක් ද යන වග තහවුරු කරගන්නා ලෙස ද දැනුම් දෙයි. එසේ නොමැතිව ව්‍යාජ රැකියා නියෝජිතයින්ට මුදල් ගෙවීමෙන් වංචාකරුවන් ට ගොදුරු නොවන ලෙසත් කාර්යාංශය ඉල්ලා සිටී.
 

More News..