brand logo

තානාපතිවරුන් පවසන සියලුම දේ සත්‍යය නොවේ - කෙහෙලිය

01 July 2020

යම් රටක තානාපතිවරයෙක් හෝ තනාපතිනියක් පවසන සියලුම දේම සත්‍යය නොවන බවත් යුද සමයේ මෙරට සම්බන්ධයෙන් එවැනි අසත්‍ය ප්‍රකාශ කළ තානාපතිවරු සිටි බවත් ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. එම්.සී.සී ගිවිසුම ක්‍රියාත්මක කිරීමට පසුගිය යහ පාලන ආණ්ඩු සමයේ මුදල් ලබාදී තිබෙන බවට කොමිෂන් වාර්තාවෙන් කර තිබෙන හෙළිදරව්ව සම්බන්ධයෙන් ඇමරිකානු තානාපතිනිය පැවසූ දේ සම්බන්ධයෙන්ද කිව යුතුව තිබෙන්නේ මෙය බවද ඒ මහතා කීය. මෙවර මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරමින් ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමට ගිය රඹුක්වැල්ල මහතා අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරත්න මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු ඊයේ (01) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේබව පැවසුවේය. මහින්ද රාජපක්ෂ මහතා ජනපති සමයේ එම්.සී.සී ගිවිසුමට එළඹ තිබෙන බවට ඇතැම් පිරිස් චෝදනා කරන බවත් එදා පිටු අටකින් සමන්විතවූ ගිවිසුම යහ පාලන ආණ්ඩු සමයේ පිටු අසූවක් දක්වා වැඩිවූ බවත් කී ඒ මහතා රටට අහිතකර වගන්ති ඇතුළත් වූයේ එම කාලයේදී බවද අවධාරණය කළේය. විපක්ෂය දෙකට බෙදී එකිනෙකාට චෝදනා කරමින් සිටින බවත් ඔවුන් දැන් පරාජය පිළිගෙන තිබෙන බවත් කී හිටපු ඇමැතිවරයා ආණ්ඩුවට දැන් වෙහෙසෙන්නේ ජයග්‍රහණය කිරීමට නොව තුනෙන් දෙකක විජයග්‍රහණයක් ලබා ගැනීමට බවද පැවසුවේය. ජනතාවට ලී ක්වාන් යූ වැනි නායකයෙකු ලැබී තිබෙන බවත් මහින්ද රාජපක්ෂ මහතා ජන හදවත් හඳුනන නායකයෙකු බවත් කී ඒ මහතා මෙම සුසංයෝගයට රට දියුණුව කරා මෙහෙයවිය හැකි බවද අවධාරණය කළේය. මෙවර මැතිවරණ ව්‍යාපාරය පෝස්ටර්,කටවුට්,බැනර් හා පොලිතීන් වලින් තොරව පරිසර හිතාකාමී ලෙස ගෙනයන බවද හෙතෙම කීය. කමල් සුරවීර මහනුවර
 

More News..