brand logo

තාජුදීන් ඝාතන නඩුව : අනුර සේනානායකගේ ඇප කොන්දේසී ලිහිල් කරයි

30 July 2019

මහත් ආන්දෝලනයකට තුඩුදුන් රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන සිද්ධියට අදාළ සාක්ෂි විනාශ කිරිම සහ ඒවා වසන් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින බස්නාහිර පළාත භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අධිකරණය විසින් නියම කළ ඇප කොන්දේසි මේ දක්වා කඩ කිරීමක් සිදුකර නොමැති හෙයින් පොලිසියට වාර්තා කිරීම සම්බන්ධයෙන් ඔහු වෙත පණවා තිබූ ඇප කොන්දේසියක් ලිහිල් කිරීමට කොළඹ මහාධිකරණය අද (30) නියෝග කළේය. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර අනුර සේනානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට ඇප නියම කිරීමේදී සෑම සතියකම ඉරු දින රහස් පොලිසිය වෙත වාර්තා කළ යුතු බවට අධිකරණය විසින් ඇප කොන්දේසියක් පැනවූ බව සදහන් කර සිටියේය. එහෙත් විත්තිකරු මේ දක්වා අධිකරණය විසින් පනවනු ලැබූ කිසිදු ඇප කොන්දේසියක් උල්ලංඝනය කර නොමැති හෙයින් සෑම සතියකම රහස් පොලිසිය වෙත වාර්තා කළ යුතු බවට පණවා තිබෙන ඇප කොන්දේසිය ලිහිල් කරන ලෙසද ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පිළිගත් මහධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා සෑම සතියකම ඉරු දින රහස් පොලිසිය වෙත වාර්තා කළ යුතු බවට විත්තිකරු වෙත පැනවූ ඇප කොන්දේසිය ලිහිල් කරමින් සෑම මසකම අවසන් ඉරුදින රහස් ොලිසිය වෙත වාර්තා කිරීම ප්‍රමාණවත් බවට නියෝග කළේය. ඉන් පසුව නඩුව ඔක්තෝබර් මස 23 වනදා සිට විභාගයට ගන්නා බවද විනිසුරුවරයා ප්‍රකාශ කර සිටියේය. රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනයට ලක්වූ අවස්ථාවේ අදාළ පරීක්ෂණ යටපත් කොට සාක්ෂි විනාශ කිරීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 197 වන වගන්තිය යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබේ. මෙම නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු ලෙස නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් චම්පික පෙරේරා මහතා නීතිපතිවරයා විසින් නම් කරනු ලැබ සිටී.
 

More News..