brand logo

තාජුදීන් ඝාතන නඩුව : කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකරට අධිචෝදනා

27 August 2019

මහත් ආන්දෝලනයකට තුඩුදුන් රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන සිද්ධියේ වැදගත් සාක්ෂි විනාශ කිරීමට කටයුතු කළේ යැයි චෝදනා කරමින් කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය ආනන්ද සමරසේකර මහතාට එරෙහි නඩුව ගොනුකර ඇති ආකාරය නිති විරෝධී යැයි සඳහන් කරමින් මූලික විරෝධතාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අද (27) කොළඹ මහාධිකරණය හමුවේ දැනුම් දුන්නේය. මෙම නඩුව ඊයේ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා වෙත නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධි චෝදනා පත්‍ර භාර දෙන ලදී. අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව විත්තිකාර සමරසේකර මහතා රුපියල් 25,000/- ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 ක් බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල මහතා විසින් නියෝග කරනු ලැබීය. අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා කරුණු දක්වමින් මෙම නඩුවේ අධිචෝදනා පත්‍රය ගොනු කර ඇති ආකාරය සම්බන්ධයෙන් තමන් මූලික විරෝධතාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව දැනුම් දුන්නේය. අනතුරුව මෙම මූලික විරෝධතා පිළිබඳව විමසීම සැප්තැම්බර් මස 19 වන දා සිදු කරන බව මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය. 2012 වසරේ මැයි මස 17 වනදා කොළඹ, නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය ඉදිරිපිට පිලිස්සෙමින් තිබූ වාහනයක තිබී මියගිය වසීම් තාජුදීන්ගේ මළ සිරුර සොයාගෙන තිබුණි. මෙම මළ සිරුරට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම විත්තිකාර සමරසේකර මහතා වෙත පැවරී තිබුණ ද ඔහු එම කාර්යයට සක්‍රීය ලෙස දායක නොවී ඔහුගේ කනිෂ්ඨ වෛද්‍යවරු දෙදෙනෙකු ලවා එය සිදු කොට ඇති බවද පරීක්ෂණවලදී අනාවරණය විය. පසුව මෙම මළසිරුරට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමේදී ඉන් ඉවත් කරගත් වැදගත් අස්ථි කොටස් දෙකක් අස්ථානගත කොට මෙම පරීක්ෂණයට අදාල වැදගත් සාක්ෂියක් විනාශ කළේ යැයි චෝදනා කරමින් වෛද්‍ය ආනන්ද සමරසේකර මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා එල්ල කර ඇත. අධිකරණ වාර්තාකරු
 

More News..