brand logo

තාජුදීන්ගේ ඝාතනය : අනුර සේනානායකට එරෙහි නඩුව නොවැ. 07 දක්වා කල්යයි

23 October 2019

2012 වසරේ මරා දැමුණු රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ ඝාතන සිද්ධියට අදාළ සාක්ෂි වසන් කොට විනාශය කළේ යැයි චෝදනා කරමින් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ විභාගය නොවැම්බර් මස 07 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (23) නියෝග කළේය. මෙම නඩුවේ විභාගය අද දින ආරම්භ කිරීමට නියමිතව තිබුණත් විත්තිකාර අනුර සේනානායක මහතා අධිකරණයේ පෙනී සිටියේ නැත. ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා අසනීප තත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සඳහන් කර සිටියේය. මේ හේතුවෙන් නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කිරීම කිරීම කල් තබන ලෙස ද විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විභාගය 14 දක්වා කල් තැබීමට තීන්දු කළේය. 2012 වසරේ කොළඹ , නාරාහේන්පිට පාර්ක් වීදියේ දී රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් වාහනයක් තුල මරා දමා තිබූ අතර එම පරීක්ෂණවලදී වැදගත් සාක්ෂි වසන් කිරීම සහ විනාශ කිරීම තුළින් එවක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ අනුර සේනානායක මහතා දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබේ. අධිකරණ වාර්තාකරු
 

More News..