brand logo

ත්‍රීවීල් මල්ලිගේ කනේ පාරෙන් පොලිස් සාජන් රෝහලේ

17 October 2020

ත්‍රිරෝද රථය සෙමෙන් ධාවනය කරන්නැයි පැවසීම ගැන උරණ වූ රියැදුරු ත්‍රිරෝද රථය නවත්වා එහි තුළ සිටි පොලිස් සැරයන්වරයකුට කනේ පහරක් දී ඇති බැව් ඉමදූව පොලිසිය පවසයි. පහරකෑමෙන් පසු පොලිස් සැරයන්වරයා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්ව ඇති බව පොලිසිය පවසයි. පොලිස් සැරයන්වරයා ගාල්ල පොලිසියට අනුයුක්තව රාජකාරි කරයි. ඔහු සේවය නිමකොට පස්වරුවේ නිවස බලායාම සඳහා බස්රථයකින් ගොස් ඉමදූව පැඟිරිහේන හන්දියෙන් බැස ඇත. පසුව කොළඹ ප්‍රදේශයට යාම සඳහා මොහු ත්‍රිරෝද රථයට ගොඩවී ඇත. ඒ අවස්ථාවේ දී ත්‍රීවීල් රියැදුරු බීමතින් සිට ඇති අතර ඔහු අධික වේගයෙන් රථය ධාවනය කොට ඇත. එහිදී පොලිස් සැරයන්වරයා විසින් ‘මල්ලි හෙමින් යමු ඇයි ඔය තරම් හදිස්සියක් කියා ත්‍රිරෝද රථය හෙමින් ධාවනය කරන ලෙස ත්‍රිරෝද රථ රියැදුරාට පවසා ඇත. ඉන් උරණ වූ රියැදුරු ත්‍රිරෝද රථය නවත්වා පොලිස් සැරයන්වරයාට කනේ පහරක්දී ඇති බව පොලිසිය පවසයි. බීමත්ව රිය පැදවීම හා පොලිස් සැරයන්වරයකුට පහරදීම සම්බන්ධයෙන් ත්‍රිරෝද රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.   එච්.එම්. සමන් - අක්මීමන ලංකින්ද නානායක්කාර- ඉමදූව ගැමුණු චන්දූලාල් - ගාල්ල
 

More News..