brand logo

ත්‍රස්තවාදය පරාජය කරන්න කොන්දක් තියෙන්න ඕනේ - ප්‍රසන්න රණතුංග

21 May 2019

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව රට තුළ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් මතුවෙලා තියෙනවා? පාස්කු ඉරිදා ප්‍රහාරයට වගේම ඊට පස්සේ රට තුළ ඇතිව තිබෙන තත්ත්වයටත් සම්පූර්ණයෙන් වගකිව යුත්තේ රනිල් මෛත්‍රී ප්‍රමුඛ වර්තමාන ආණ්ඩුවයි. මුලින්ම ආණ්ඩුව රටේ ජාතික ආරක්ෂාව අඩපණ කරලා ජනතාව ත්‍රස්තවාදය හමුවේ නිරාවරණය කළා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේවත් හරියට කටයුතු කළා නම් රටේ මේ අවාසනාවන්ත තත්ත්වය ඇතිවෙන්නේ නැහැ. ආණ්ඩුවට ඕනෙ වෙලා තියෙන්නේ රට තුළ 83 කළු ජූලිය වගේ තත්ත්වයක් නිර්මාණය කරන්නයි. 1983 කළු ජූලියටත් එවකට පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සෘජුව වගකිව යුතු බව රටම දන්නා කරුණක්. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ ආණ්ඩුව ඒ සඳහා වගකිවයුතු දේශපාලකයන් ඇතුළු පුද්ගලයන් ආරක්ෂා කිරීම නිසා ජනතාව තුළ බරපතළ සැකයක් මතුව තිබෙනවා.  ආණ්ඩුවේ සමහර මැති ඇමැතිවරුන්ගේ කතා නිසා අර්බුදය තවත් ඇවිළුණා. මංගල, රාජිත, පාඨලී වගේ අය ඇවිළෙන ගින්නට පිදුරු දැම්මා. ආණ්ඩුව කියන්නේ මේ සිදුවීම් පිටුපස ඉන්නේ පොහොට්ටුවේ ක්‍රියාකාරීන් බවයි? මේ වැඩ බැරි ආණ්ඩුව හැමදාම කළේ ඕකනේ. තමන්ගේ වරද වහගන්න විපක්ෂයට චෝදනා කිරීම තමයි ආණ්ඩුවේ ස්ටයිල් එක. මේ ආණ්ඩුව බලයටපත් වුණෙත් මහින්ද මහත්තයට, අපිට චෝදනා කරලා. ආණ්ඩුව පවත්වාගෙන ගියෙත් මහින්ද මහත්තයට, අපිට චෝදනා කරකර. දැන් බලන්න එදා ඉඳන් අපි කිව්වා අපෙන් පළිගත්තට කමක් නෑ, ජාතික ආරක්ෂාව අඩු කරන්න එපා කියලා. ඒත් මේ අය මොකද කළේ සියලුම බුද්ධි අංශ අඩපණ කළා. ඉතුරු වෙලා හිටපු බුද්ධි නිලධාරීන් යෙදෙව්වේ ජාතික ආරක්ෂාව ගැන සොයන්න නෙවෙයි. විපක්ෂෙ අපි ගැන හොයන්නයි. අපි පස්සේ වැටිලා හිටියා මිසක් ත්‍රස්තවාදය, අන්තවාදය ගැන හොයන්න ආණ්ඩුවට වෙලාවක් තිබුණේ නෑ. මේ ආණ්ඩුව බලයට ඇවිත් කළේ මහ බැංකුව සුද්ද කරලා ආර්ථිකය විනාශ කරපු එකයි. රණවිරුවන් හිර කරලා ජාතික ආරක්ෂාව විනාශ කරපු එකයි. ආණ්ඩුව අපිට චෝදනා කරන්නේ තමන්ට විරුද්ධව එල්ල වෙලා තියෙන විරෝධය වෙන පැත්තකට යොමු කරලා බේරෙන්න. මම බොහොම වගකීමෙන් කියන්නේ. රටේ නොසන්සුන් තත්ත්වයට පිටි පස්සේ ඉන්නේ මේ ආණ්ඩුව. ආණ්ඩුවට ඕන කරලා තියෙන්නේ රට පුරා අර්බුදයක් හදලා ඒ අර්බුදයට මුවා වෙලා ඡන්ද කල් දමමින් බලය රැක ගන්න. නමුත් මිනුවන්ගොඩ පසුගිය සඳුදා (13දා) එල්ල වූ ප්‍රහාරයට ඔබත් සම්බන්ධයි කියලා චෝදනාවක් තියෙනවා? ඔය සිද්ධිය වෙන වෙලාවේ මම හිටියේ ලංකාවේ නෙමෙයි. මම පසුගිය 03 වෙනිදා ඉතාලිය බලා ආවා. තාමත් ඉන්නේ එහේ. මට ආරංචියි ආණ්ඩුවේ මැති ඇමැතිවරු ඕකට මගේ නම පටලවන්න සෑහෙන්න මහන්සි වෙනවා කියලා. ජනාධිපතිවරයාගේ උපදේශකවරයෙක් ෆේස්බුක් හරහා තම හිතවතුන්ට පණිවුඩයක් යවලා තියෙනවා මිනුවන්ගොඩ ගැටුමට මම සම්බන්ධයි කියලා. ඒ වගේම ආරක්ෂක අංශ ප්‍රධානියෙකුත් ආගමික නායකයෙකුට මේ කතාව කියලා තියෙනවා. මම දේශපාලනය කරන විදිය මගේ මිනුවන්ගොඩ ජනතාව දන්නවා. ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව දන්නවා. රටේම ජනතාව දන්නවා. මම කවදාවත් ජාතිවාදය අවුස්සලා පටු වාසි අරගෙන දේශපාලනය කරපු කෙනෙක් නෙමෙයි. එහෙම දේශපාලනය කළා නම් මට මේ තරම් දේශපාලනයේ දුර එන්න බෑ. මේවා මහ ගොබ්බ චෝදනා. මිනුවන්ගොඩ ප්‍රහාරයට ඔබේ මන්ත්‍රීවරයෙක් සම්බන්ධ බව ගම්පහ නියෝජ්‍ය ඇමැතිවරයෙක් පවසා තිබුණා? ඔව්. මමත් දැක්කා ඔය ප්‍රකාශය. මට දැන ගන්න තියෙන විදියට මිනුවන්ගොඩ ෆවුස් හෝටලයට තමයි මුලින්ම ප්‍රහාරය එල්ල වෙලා තියෙන්නේ. ඒ ප්‍රහාරය එල්ල කරලා තියෙන්නේ 13 වෙනිදා සවස 6.00 ට විතර. සිද්ධිය වෙලා විනාඩි කිහිපයක් යද්දි පොලිසිය එතනට ඇවිත් තිබුණා. ඒ වගේම එඩ්වඩ් ගුණසේකර නියෝජ්‍ය ඇමැතිතුමා, මිනුවන්ගොඩ වෙළෙඳ සංගමයේ සභාපති චමින්ද සිල්වා එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීතුමත් එතනට ඇවිත් තිබුණා. සිද්ධියෙන් විනාඩි 10 කට වගේ පස්සේ තමයි නැවත ඒ හෝටලයටම ප්‍රහාරය එල්ල වෙලා තියෙන්නේ. එතකොට පොලිසිය මොකද කළේ? එතන හිටපු පළාත් සභා මන්ත්‍රීතුමයි, නියෝජ්‍ය ඇමැතිතුමයි මොකද කළේ. පැයක් වගේ කාලයක් තුළ තමයි මිනුවන්ගොඩට මේ විනාශය වෙන්නේ. හැබැයි ආණ්ඩු පක්ෂය නියෝජනය කරන නියෝජ්‍ය ඇමැතිවරයා හා පළාත් සභා මන්ත්‍රීවරයා ඒ වෙලාවේ ජනතාව සන්සුන් කරන්නේ නැතිව පස්සේ අපේ අයට චෝදනා කරනවා අපි තමයි මේකට වගකියන්න ඕනේ කියලා. මේ ප්‍රහාරයෙන් මුස්ලිම් වගේම සිංහල ව්‍යාපාරිකයන්ගේ කඩ කිහිපයක්ද විනාශ වෙලා තියෙනවා. සිද්ධියෙන් පස්සේ දෙවනි දවසේ ඒ කියන්නේ 14 වෙනිදා හීනටියන ගමේ තරුණයන් 09 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ වෙලාවේ ගමේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවුණාම ඒ ගමේ ඉන්න ශ්‍රී ලංකා හා අපේ ප්‍රාදේශීය සාභා මන්ත්‍රීවරු ගිහින් තියෙනවා සියලුම පක්ෂ නියෝජිතයන් හම්බවෙන්න. ඔවුන් කියලා තියෙන්නේ ගමේ දැඩි නොසන්සුන්කමක් ඇතිවෙනවා. නීතිය ක්‍රියාත්මක කරන්න හැබැයි දැනට මේ අයට ඇප දෙන්න කියලයි. එවෙලේ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ හිටපු ආණ්ඩුවේ ඇමැතිවරයෙක් මේ මන්ත්‍රීවරුන්ට හා ස්වාමීන්වහන්සේලාට කියලා තියෙන්නේ පොහොට්ටුවෙ උන් තමයි මේ හැමදේම කරන්නේ කිසිම සමාවක් දෙන්නෙ නෑ’ කියලා. මේ නිසා තමයි දෙවෙනි දවසේ මිනුවන්ගොඩ දැඩි නොසන්සුන් වාතාවරණය ඇති වුණේ.. හැබැයි මේ රිමාන්ඩ් කරපු අය අතර යූඑන්පී අය වගේම ශ්‍රී ලංකා අයත් ඉන්නවා. ඒ හින්දා අපි බොහොම පැහැදිලිව කියනවා මේ ආණ්ඩුවට වීදුරු ගෙවල්වල ඉඳලා ගල් ගහන්න එපා කියලා. මේ නොසන්සුන් තත්ත්වයට ජනමාධ්‍යත් වගකිවයුතු බවයි ආණ්ඩුව කියන්නේ? මේ ආණ්ඩුව බලයට පත්වුණේ ප්‍රජාතන්ත‍්‍රවාදය, මාධ්‍ය නිදහස වගේ දේවල් කියලනේ. තොරතුරු පණත ගෙනාපු වෙලාවේ මේ ආණ්ඩුවේ ඇමැතිවරුන් පම්පෝරි ගැහු‍වේ රටේ මාධ්‍ය නිදහස ලබා දුන්බව කියමින්. නමුත් අද ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය හා මාධ්‍ය නිදහස රෙද්ද පල්ලෙන් බේරෙනවා. රටේ තියෙන ආරක්ෂිත බව පාලනය කරනවා වෙනුවට මාධ්‍ය හා සමාජ මාධ්‍ය සීමා කිරීමෙන් ආණ්ඩුවේ සැබෑ නිරුවත අද ජනතාවට පෙන්වනවා. අත්අඩංගුවට ගන්න හොඳනම් පෙන්නුවාම මොකද වෙන්නේ. මම දන්න විදියට මේ අත්අඩංගුවට ගන්න කඩු පෙන්නන එක නතර කළේ මුස්ලිම් ඇමැතිවරුන්ගේ ඉල්ලීමට අනුවයි. කොහෙ හරි නොසන්සුන් සිද්ධියක් වුණ ගමන් ජනාධිපතිතුමා හීනෙන් වගේ නැගිටලා ගිහින් සමාජ මාධ්‍ය තහනම් කරනවා. මහින්ද මහත්තයා ලෝකයේ භයානකම ත්‍රස්තවාදය පරාජය කළා. යුද්ධයේ අවසන් කාලයේ මට මතකයි හැම චැනල් එකකින්ම යුද බිමේ සිට වාර්තාවක් ගෙනාවා. ඒ නිසා මේ රටේ ජනතාවගේ මොරාල් එක වැඩි වුණා. මේ ආණ්ඩුවට ගැටුම් කළමනාකරණය ගැන මෙලෝ අවබෝධයක් නෑ. ත්‍රස්තවාදය පාරාජය කරන්න ජනාධිපතිට අගමැතිට හා ආණ්ඩුවට කොන්ද පණ තියෙන්න ඕනේ. මාධ්‍ය හා සමාජ මාධ්‍ය අවහිර කළා කියලා ත්‍රස්තවාදය පරාජය කරන්න බෑ. නමුත් ජනාධිපතිවරයා කියන්නේ මුස්ලිම් අන්තවාදය සම්පූර්ණයෙන්ම පරාජය කර අවසන් කියලා? මහින්ද මහත්තයා භාර දුන්නේ බෝම්බ පිපිරෙන්නේ නැති රටක්. වසර 4කුත් යන්න කලින් රනිල් - මෛත්‍රී ආණ්ඩුව රටට කරපු විනාශය දැන් ඇස් පනාපිට ඔප්පු වෙලා ඉවරයි. දැන් එහාට මෙහාට බෝලෙ පාස් කරාට මේ දෙගොල්ලෝ ආණ්ඩු කළේ එකට, රට කෑවේ එකට. ජනාධිපතිවරයාගේ අරමුණ වෙලා තියෙන්නේ මේ තියෙන තත්ත්වයෙන් ප්‍රයෝජන අරන් ලබන පාරත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න. ගෝලීය ත්‍රස්තවාදය පරාජය කරපු නායකයා කියලා බෝඩ් එකක් ගහගෙන ජනාධිපතිවරණයට එන්න ලෑස්තිවෙනවා කියලා තමයි ආරංචිය. එයා විතරක් නෙමේ 2015 දී වැඩ බැරි යහපාලන ආණ්ඩුව බලයට ගේන්න කඩේ ගිය රතු අලි පැටව්, චම්පිකලා වාගේ අයත් අලුත් වටයකින් ජනතාව හමුවට එන්න හදනවා. මේ අය කතා කරන්නේ මැරිලා ඉපදුනා වගේ. අමතක කරන්න එපා රට මේ උගුලට වට්ටන්න මූලික වුණේ මේ නඩයමයි කියලා. වෙස්මූණු බැඳගෙන ආවට ජනතාව අායේ නම් රැවටෙන්නේ නෑ. රිෂාඩ් බදුර්දීන් ඇමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරන්න විපක්ෂයට පුළුවන්ද? රිෂාඩ් බදුර්දීන් ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව අපි කථානායකවරයාට භාරදීමට කටයුතු කර තියෙනවා. මම දැක්කා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්නකරන කොට එ්කෙන් ලිස්සලා යනවා, කෙළින් උත්තරයක් නොදී. මේ විශ්වාසභංග යෝජනාවට ඡන්ද විමසන වෙලාවට මේ රටේ මුස්ලිම් අන්තවාදයට උඩගෙඩි දෙන්නේ කවුදැයි අපට හොඳින් බලාගන්න පුළුවන්. කොන්දක් තියෙනවා නම් එක්සත් ජාතික පක්ෂයත් රිෂාඩ්ට එරෙහිව ඡන්දය පාවිච්චි කළ යුතුයි. කොහොම වුණත් ජනතාව අතර ඇති නොසන්සුන්තාව තවමත් මුළුමනින්ම පහවෙලා නෑ? මේ වගේ අවස්ථාවක ඉවසිල්ලෙන් කටයුතු කිරීම තමයි ජනතාවගේ වගකීම. ජනතාව නීතිය අතට ගත යුතු නැහැ. රාජකාරිය හරිහැටි ඉටු කරන්න බැරි ආණ්ඩුව තමන්ට තියෙන ජනතා විරෝධය වෙනත් අතකට යොමුකිරීමේ අරමුණින් කටයුතු කරන බව පැහැදිලියි. ආණ්ඩුවට එරෙහි විරෝධය එළිපිටම පෙන්වීමට දෙසැම්බර් මාසයේදී අපිට අවස්ථාවක් ලැබෙනවා. අපේ ජනාධිපති අපේක්ෂකයා සූදානම්. ජාතිවාදයට මුවා වෙලා මැතිවරණ කල් දැමීමේ කූට උපක්‍රමයකයි ආණ්ඩුව මේ නිරත වෙලා ඉන්නේ. ඒකට රැවටෙන්න එපා. ඒ නිසා කලබල නොවී නියමිත වෙලාව එනකල් ඉවසගෙන ඉන්න. ලක්සිරි විතානආරච්චි
 

More News..