brand logo

තහනම පසෙකලා පොදු සුසානයේ කටුපොල් වගාවක්

24 February 2021

දැරණියගල අංහෙට්ටිගම වත්තට අයත් වැලිහිඳ කොටසේ වසර පනහකට වඩා පැරණි පොදු සුසාන භුමියක් ඩෝසර් කර, මේ වන විට රජයෙන් තහනම් කර ඇති කටුපොල් සිටුවීම පිළිබඳව ප්‍රදේශයේ ජනතාව දැරණියගල පොලිසියට පැමිණිලි කර තිබේ. රජය විසින් කැබිනට් තීරණයක් මත තහනම් කර ඇති කටුපොල් වගාව මෙම ප්‍රදේශයේ වතු සමාගම් විසින් අලුතින් සිටු වීමට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසද ජනතාව පොලිසියෙන් ඉල්ලා සිටිති. මේ පිළිබඳව ප්‍රදේශයේ ජනතාව පවසන්නේ තමන්ගේ මුතුන් මිත්තන් මියගිය පසු ආදාහනය කළේ මෙම සුසාන භුමියේ බවත් ඒ වගේම මෙතන වසර පනහකට වඩා පැරණි සොහොන් කොතක් තිබී ඇති බවත්ය. එසේම මාස හයකට පෙර ආදාහනය කළ මිනිවළවල් උඩත් කටුපොල් හිටවා තියෙනවා යැයි ඔවුහු පවසති. ඒ නිසා ජනතාව බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ ඩෝසර් කළ පොදු සුසාන භුමියේ සොහොන් කොත කඩිනමින් නැවත ඉදි කරන ලෙසත්, අලුතින් සිට වන ලද කටුපොල් වහාම ගලවා ඉවත් කරන ලෙසත්ය. රජය විසින් 2019 වසරේ කැබිනට් මණ්ඩලය කටුපොල් වගාව තහනම් කළ පසු මෙම වතු සමාගම කීපවතාවක් කටුපොල් නීති විරෝධි ලෙස හිටුවා ඇත. මේ පිළිබඳව ප්‍රදේශවාසින් විසින් දැරණියගල ප්‍රාදේශය ලේකම්වරිය හා පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව අදාළ වතු සමාගමට උපදෙස් දී ඇත්තේ කටුපොල් පැළ ගලවා ඉවත් කරන ලෙසයි. නමුත් වතු සමාගම් එම පැළ ඉවත් කර නැත. මේ පිළිබඳව දැරණියගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත අලහකෝන් පවසන්නේ ප්‍රදේශයේ අලුතින් කටුපොල් හිටවීම පිළිබඳව ජනතාවගෙන් පැමිණිලි ලැබුණා. ඉන් පසු දැරණියගල ප්‍රදේශය ලේකම් ඇතුළු රජයේ නිලධාරින් සමග එම ස්ථානයේ ස්ථානීය පරීක්ෂණයකට ගියා. ඒ අනුව මේ පිළිබඳව උසාවියට කරුණු ඉදිරිපත් කර තිබෙනවා. ඉන්පසු දෙපාර්ශ්වය අධිකරණයේ පෙනී සිටීමට නියමිතයි.   ඒ.ඩී.ඒ. නිශාන්ත - දැරණියගල
 

More News..