brand logo

තහනමින් පසු සුඛෝපභෝගී වාහන 300ක් ගෙන්නලා

03 October 2020

පසුගිය ජුනි 26 වැනිදා සිට වාහන ආනයනය තහනම් කර තිබියදීත් ව්‍යාජ දින ඇතුළත් කරමින් සුඛෝපභෝගී වාහන තුන්සීයක් පමණ කොළඹ වරායට පැමිණ ඇති අතර ඒවා මුදා ගැනීමට එම වාහන ගෙන්වූ පිරිස් දැඩි උත්සාහයක නිරත වන බව වාර්තා වේ. යුරෝපය හා ජපානයෙන් ආනයනය කරන ලද එම සුඛෝපභෝගී වාහන අතර බෙන්ස්, ප්‍රාඩෝ, ජීප් ආදී වර්ගයේ සුඛෝපභෝගී වාහන වේ. මේවා රුපියල් කෝටියේ සිට කෝටි පහය දක්වා වටිනාකමකින් යුත් වාහන වන අතර වැඩි ප්‍රමාණයක් ඇත්තේ රජයේ මාණ්ඩලික නිලධාරීන්ට ලබාදී තිබූ වාහන බලපත්‍රවලට ආනයනය කළ ඒවා බව වාර්තා වේ. එම නිලධාරීන්ගේ වාහන බලපත්‍ර මිලට ගත් ආනයනකරුවන් වාහන ආනයනය තහනම් කිරීමෙන් පසුව තහනම් කළ දිනය නැව්ගත කළ දිනය ලෙස සඳහන් කර මේවා ගෙන්වා ඇත. මේ ආකාරයට එංගලන්තයේ සවුත් ඇට්මින් වරායෙන් ජුනි 29 දින පිටත් වූ නැවකින් වාහන 37ක් ගෙනැවිත් ඇති අතර වරායෙන් නැව පිටත් වූ දිනය ජුනි 26 ලෙස සඳහන් කර තිබේ. මේ සම්බන්ධයෙන් අතිරේක අධ්‍යක්ෂ හා රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්නගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ආනයනය තහනම් කළ ජුනි 26න් පසුව නැව්ගත කර ගෙන්වා ඇති වාහන තුන්සීයකට වැඩි ප්‍රමාණයක් ඇති අතර ඒවා රාජසන්තක කිරීමට කටයුතු කරමින් සිටින බවයි.   චමින්ද සේනාරත්න
 

More News..