brand logo

තහනමින් පසු බස්නාහිරින් ගිය අය නිරෝධනයට

12 November 2020

සංචරණ සීමා පැනවීමෙන් පසුව බස්නාහිර පළාතේ සිට වෙනත් ප්‍රදේශවලට ගොස් සිටින පුද්ගලයින් ස්වයං නිරෝධායනයට ලක්කිරීමට තිරණය කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි. එලෙස යම් පුද්ගලයෙක් බස්නාහිර පළාතේ සිට වෙනත් පළාතකට ගොස් සිටින්නේනම් ඔවුන් සෞඛ්‍ය බලධාරීන් සමග මැදිහත් වී ස්වයං නිරෝධායනයට ලක්කිරීමට කටයුතු කරන ලෙස දිවයිනේ සෑම පොලිස් ස්ථානයක්ම දැනුවත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. අත්‍යාවශ්‍ය සේවා සිදුකරන පුද්ගලයෙකුට හැර වෙනත් කිසිදු පුද්ගලයෙකුට බස්නාහිර පළාතේ සිට වෙනත් පළාතකට ගමන් කිරීමට නොහැකි අතර වෙනත් පළාතක සිට බස්නාහිර පළාතට පැමිණීමට නොහැකි බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය. "අපි ඊයේ රාත්‍රීයේ මේ බව නිවේදනය කරේ. ඒ අතර යන අයට සහන කාලයක් දෙන්න ඕනේ. නමුත් අනිවාර්යයෙන්ම යම්කිසි කෙනෙක් අද උදේ 5 විතර ඉදලා කොහේහරි ලංකාවේ ප්‍රදේශයකට ඇවිල්ලා තියෙනවා නම් ඒ අය එම ස්ථානවලම නිරෝධායනයට ලක්කරන්න වෙනවා. සෞඛ්‍ය අංශවල සහයෝගය මත. ඒ වගේම ඒ දවස් 14 න් පස්සේ ඒ අයට එරෙහිව අපිට කටයුතු කරන්න වෙනවා. එයාලා බස්නාහිර පළාතේ ඉදලා ගිහින් කියලා තහවුරු වුණොත් මේ ක්‍රියාවලියට අනිවාර්යයෙන්ම අනුගත කරන්න වෙනවා.ඒ නිසා කිසිම කෙනෙක් බස්නාහිර පළාතෙන් පිට වෙලා යන්න එපා. අපි අධිවේගී මාර්ග ඇතුළුව සියලූම පිටවුම් දොරටුවල නිලධාරීන් යොදවලා තියෙනවා. " යනුවෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
 

More News..