brand logo

තව අවුරුදු දහතුනකින් ඩීසල්-පෙට්‍රල් වාහන තහනම්

03 July 2022

2035 ඉලෙක්ට්‍රික් වාහන පමණයි

මාස කිහිපයක් තිස්සේ ලංකාවේ හැම පාරක තෙල් පෝළිම්ය. ඉන්ධන නැතිව දින ගණන් මහ පාරේ වාහනය. ඉන්ධන නැති වෙන්න හේතුව ​ඩොලර් නැති වීමය. ඩොලර් කෙසේවෙතත් කවදා හරි පොසිල ඉන්ධන නැති වූ දාටත් මුළු ලොවටම සිද්ධ වනු ඇත්තේද මේ සන්තැසියමය. කෙසේ නමුදු දැන් දැන් යුරෝපයනම් කල්තියාම ලෑස්ති වන්නේ පොසිල ඉන්ධනවලින් ඉවත් වීමටය. පසුගිය බදාදා (එනම් 29 වැනිදා) දිනයේදී යුරෝපා සංගමය යුරෝපා පාර්ලිමේන්තුවේදී රැස්විය. ඒ යුරෝපා සංගමයේ රටවල් විසි හතේ පරිසර අමාත්‍යවරුන් සමගිනි. මේ හමුවේ දී ඔවුන් සියලුදෙනාම ලෝකයම මවිත කරන නීතියක් සම්මත කර ගත්තේය. ඒ 2035 වසර වනවිට යුරෝපයේ ජීවත් වන සෑම පුද්ගලයෙක්ම සිය ගමන් බිමන් යා යුත්තේ ඉලෙක්ට්‍රික් වාහන වලින් පමණක්ය යන්නයි. මේ නීතිය ඔවුන් මුලින්ම ගෙන ආවේ අදින් වසර පහ හයකට පෙර තිබූ යුරෝපා සංගමයේ ප්‍රධාන සැසිවාරයකදීය. ඒත් බොහෝ රටවලින් මෙයට එල්ල වූ විරෝධය නිසා යෝජනාව ගෙන ආ නෙදර්ලන්තයට සිදුවූයේ එම කෙටුම්පත හකුළා ගැනීමටයි. ඒ අතර පසුගිය මස නවවැනිදා පැවති පාර්ලිමේන්තු සැසිවාරයකදී යළිත් වරක් ඉලෙක්ට්‍රික් මෝටර් රථ පිළිබඳ යෝජනාව කරළියට පැමිණියේය. ඒ යුරෝපා සංගමයේ රටවල ඉන්ධනවලින් ධාවනය වන මෝටර් රථ සියයට සියයක්ම තහනම් කරන්නටය. මේ වෙනුවෙන් ඉලෙක්ට්‍රික් මෝටර් රථ ප්‍රචලිත කිරීමටත් එහිදී යෝජනා විය. මෙම යෝජනාව එකහෙළාම ප්‍රතික්ෂේප කළේ ජර්මානු නීති සම්පාදක පීටර් ලීස් විසිනි. ඔහු කියා සිටියේ සියයට සියයක් නොව සියයට අනූවක් පමණ ඉන්ධනවලින් ධාවනය වන මෝටර් රථ තහනම් කරන්නේ නම් තමන් මෙම යෝජනාව පිළිගැනීමට සූදානම් බවයි. කෙසේ වෙතත්, මේ ගැන සකස් කළ කෙටුම්පත පසුගිය බදාදා දිනයේදී යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නෙදර්ලන්තය ප්‍රමුඛ රටවල් කිහිපයක් තීරණය කර තිබුණි. එය සම්මත කරගැනීමට විශේෂ ඡන්දයක් පවත්වන්නට රටවල් විසිහතේ පරිසර අමාත්‍යවරුන් තීරණය කර ඇත්තේය. අවසානයේදී ලෝකයටම බලාපොරොත්තුවක් එක්කරමින් යුරෝපා සංගමයෙන් ඉන්ධනවලින් ධාවන වන වාහන ප්‍රතික්ෂේප කිරීමේ පළමු වෙඩි මුරය පත්තු කළේය. ලෝකයේ ඉන්ධනවලින් ධාවන වන මෝටර් රථ නිෂ්පාදනයේ රජුන් තැනූ ජර්මනියත් කෙසේ හෝ මේ යෝජනාවට එකඟ වී තිබීමත් විශේෂත්වයකි. ඒ අනුව ලෝකයේ ඉලෙක්ට්‍රික් වාහන නිෂ්පාදකයන් වන ටෙස්ලා, ජී.එම්. සහ නිසාන්හි හිමිකරුවන් මේ වනවිටත් යුරෝපය තුළ සිය නිෂ්පාදනයන් වැඩි කිරීමට කටයුතු කර ඇත්තේය. ටෙස්ලා සමාගම ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් විසින් ඉලෙක්ට්‍රික් වාහන නිෂ්පාදනය කරන නව කර්මාන්තශාලා දෙකක් ඉදිකරන්නටත් බලාපොරොත්තුවෙන් සිටින බවයි. එක් ආයතනයක් ජර්මනියේ බර්ලින් අසල පිහිටා ඇති අතර එය යුරෝපීය වෙළෙඳපොළට ඉලෙක්ට්‍රික් මෝටර් රථ සපයනු ලබයි. අනෙක ටෙක්සාස් හි ඔස්ටින් හි ගොඩනගන්නේය. ඔවුන් මෙසේ එක්වරම ඉලෙක්ට්‍රික් මෝටර් රථ සඳහා යොමු වී තිබුණේ වසර දහතුනකදී යුරෝපයෙන් හරිතාගාර වායු විමෝචනය සහ වායු දූෂණය අවම කිරීමේ අරමුණෙනි. මේ අරමුණට රුකුලක් වෙමින් පසුගිය වසරේදී Rivian R1T, Hyundai Ioniq 5' Volkswagen ID'4 සහ Jeep Wrangler PHEV ඇතුළුව පහළොවකට අධික නව මාදිලියේ ඉලෙක්ට්‍රික් මෝටර් රථ හඳුන්වා දීමට ලොව ප්‍රමුඛ පෙළේ ආයතන කටයුතු කර තිබුණි. එම වසරේම මේවාට ඇති ඉල්ලුමත් නොසිතූ ලෙස වැඩි වී ඇති බව Green Car Reportsහි පෙන්වා දෙන්නේය. ඔවුන්ගේ වාර්තාවට අනුව එක්සත් ජනපදයේ පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට ජුනි මාසය තෙක් ඉලෙක්ට්‍රික් මෝටර් රථ ලක්ෂ තුනකට වැඩි ප්‍රමාණයක් අලෙවි වී තිබුණි. එයින් හරි අඩක්ම ටෙස්ලා නිෂ්පාදන වීමත් විශේෂත්වයකි. කෙසේ වෙතත්, ලංකාවේ නම් වඩාත් ප්‍රචලිත වාහන කාණ්ඩය වන්නේ ඉන්ධනවලින් ධාවනය වන මෝටර් රථය. ලංකාවේ වැඩි දෙනෙක් මෝටර් රථයක් තෝරා ගැනීමේදී සලකා බලන්නේ ඔවුන් මිලදී ගන්නා මෝටර් රථයට තෙල් ලීටරයකින් කොපමණ දුරක් ධාවනය කළ හැකිද යන්නයි. ඒ අනුව දිනකට ලංකාවේ පෙට්‍රල් ලීටර් මිලියන තුනයි දශම අටක් සහ ඩිසල් ලීටර් මිලියන හයක් දහනය වන්නේය. ලෝකයේම පොසිල ඉන්ධනයන් තවත් වසර පනහකින් සහ ගෑස් නිෂ්පාදනය තවත් වසර අසූවකින් සදහටම නැතිවී යන පසුබිමක යුරෝපයම අලුත් විකල්ප බලශක්තියට මාරු වී ඇත්තේය. ඒ බලශක්තිය අපට ළඟා කරගැනීමට නම් තවත් වසර ගණනක කාලයක් ගතවන බව විශේෂඥ මතයයි. එයට හේතු කාරණාවන් රාශියක් ඇත්තේය. එයින් පළමු වැන්න වන්නේ ඉලෙක්ට්‍රික් මෝටර් රථ පණගන්වා ගැනීමට අවශ්‍ය පහසුකම් ලංකාව තුළ අවම මට්ටමක පැවතීමයි. අනෙක් කාරණාවන් නම් ඉන්ධන මෝටර් රථයකට තෙල් ලබා ගන්නට කිලෝ මීටරයෙන් මීටරය ඉන්ධන හල් තිබුණත් ඉලෙක්ට්‍රික් වාහනයක් පණගන්වා ගැනීමට අවශ්‍ය චාර්ජින් සෙන්ටර් ලංකාවේ නොමැති වීමයි. අනෙක් අතට පණගන්වන්නට නම් විදුලිය අවශ්‍ය වන්නේය. ඒත් අප විදුලියෙන් ලබාගන්නෙත් ඉන්ධන භාවිතයෙන් නිසා රටේ යටිතල පහසුකම් දියුණුකර ඉලෙක්ට්‍රික් වැනි විකල්ප බලශක්තියකට යාම අගනේ යැයි මෝටර් රථ පිළිබඳ විශේෂඥයෝ කියති. හර්ෂණී දිසානායක
 

More News..