brand logo

තව්හීත් ජමාත් සංවිධානයට සම්බන්ධ විනිසුරුවරු ඉන්නවා නම් අත්අඩංගුවට ගන්න

07 May 2019

ජාතික තව්හීද් ජමාත් සංවිධානයට සම්බන්ධකම් පවත්වන අධිකරණ විනිසුරුවරු සිටී නම් ඔවුන් වහාම අත්අඩංගුවට ගෙන පරීක්ෂණයක් පවත්වන්නැයි ත‍්‍රස්ත විරෝධී ජාතික එකමුතුව අද (07) අධිකරණ සේවා කොමිසමෙන් ඉල්ලීමක් කළේය. එහි සංවිධායක පුජ්‍ය මාගල්කන්දේ සුදන්ත හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් අද අධිකරණ සේවා කොමිසමට වැඩම කොට අදාළ ඉල්ලීම ලිඛිතව කොමිසමට බාර දුන්හ. පසුගියදා මාධ්‍ය හමුවකදී බස්නාහිර පළාතේ ආණ්ඩුකාර අසාත් සාලි මහතා විසින් ප‍්‍රකාශයක් කරමින් ජාතික තව්හීද් ජමාත් සංවිධානයට සම්බන්ධව විනිසුරුවරු සිටින බවට ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් සිදුකළ බව පෙන්වා දෙන ත‍්‍රස්ත විරෝධී ජාතික එකමුතුව ජාතික තව්හීද් ජමාත් සංවිධානයට සම්බන්ධ විනිසුරුවරු අධිකරණ රාජකාරියේ නිරත වන්නේ නම් එය ඉතා බරපතල තත්වයක් බවද ලිපියේ සදහන් කොට ඇත. එවැනි විනිසුරුවරුන් වහාම අත්අඩංගුවට ගෙන නීතීය ක‍්‍රියාත්මක කරන්නැයි ත‍්‍රස්ත විරෝධී ජාතික එකමුතුව අධිකරණ සේවා කොමිෂමෙන් ඉල්ලීමක්ද කොට ඇත.
 

More News..