brand logo

තවත් සතියකින් දිනකට කොවිඩ් පරීක්ෂණ 2000ක්

28 April 2020

තවත් සතියක පමණ කාලයකින් කොවිඩ් -19 පරීක්ෂණ සංඛ්‍යාව දිනකට දෙදහසක් දක්වා ඉහළ නැංවීමට හැකියාව ඇති බව අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ ඊයේ (27 වැනිදා) පැවැති සාකච්ඡාවකදී අනාවරණය විය. මේ වනවිට දිනකට කළ හැකි උපරිම පරීක්ෂණ සංඛ්‍යාව 1200ක් පමණ වන බවත් මෙහිදී හෙළි විය. දැනට කොළඹ හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයන්හි පමණක් සිදුකරන කොවිඩ් -19 පරීක්ෂණ පේරාදෙණිය හා කැලණිය යන විශ්වවිද්‍යාලවලද කිරීමට මෙහිදී තීරණය කෙරිණි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දිනකට පරීක්ෂණ හාරසියයක් පමණ කළ හැකි යැයිද මෙහිදී හෙළි විය. වෛද්‍ය පර්යේෂණ ආයතනය ඇතුළු ප්‍රධාන රෝහල්වල කෙරෙන එම පරීක්ෂණද ඉදිරි සතිය වන විට කෑගල්ල හා ගාල්ල යන රෝහල් දක්වා ව්‍යාප්ත කිරීමටද මෙහිදී සාකච්ඡා කෙරිණි. විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨය සතුව පී.සී.ආර්. යන්ත්‍ර 54ක් ඇති අතර මෙම යන්ත්‍රවලින් දැනට පරීක්ෂණ සිදුකරනු ලබන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ යන්ත්‍රවලින් පමණි. කෙසේ වෙතත් දැනට සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ 1200 මෙම යන්ත්‍ර භාවිත කරමින් 2000 දක්වා වැඩි කිරීමට මෙහිදී සාකච්ඡා කෙරිණි. මෙම යන්ත්‍ර භාවිත කිරීම සඳහා රසායානාගාර පහසුකම් සහ මානව සම්පත් නොමැතිවීම් පිළිබඳවද සාකච්ඡා කර ඇත. උසස් අධ්‍යාපන සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ඒකාබද්ධව එම පහසුකම් සලසා දීමටද මෙහිදී සාකච්ඡා කර ඇත. පේරාදෙණිය, කොළඹ සහ කැලණිය විශ්වවිද්‍යාල සතුව ඇති පී.සී.ආර්. යන්ත්‍ර භාවිත කිරීමට සහ පරීක්ෂණ සිදුකිරීම කඩිනමින් ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරයි. මේ අතර පෙරේදා (26 වැනිදා) පී.සී.ආර් පරීක්ෂණ 1075ක් සිදුකළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. කොවිඩ් -19 පරීක්ෂණ සඳහා අමතර කාර්ය මණ්ඩල පුහුණු කිරීමටද මෙම සාකච්ඡාවේදී තීරණය කෙරුණු අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට ඊට සහභාගි වූ විශ්වවිද්‍යාල උපකුලපතිවරු එකඟ වූහ.   නිලන්ත මදුරාවල උදයජීව ඒකනායක
 

More News..