brand logo

තවත් ලක්ෂ 7ක් කොරෝනා නිසා මරණයට පත්වෙනවා

25 November 2021

ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමක්

ලබන වසරේ මාර්තු මාසය වනවිට තවත් ලක්‍ෂ 7ක පමණ පිරිසක් කොවිඩ් හේතුවෙන් මරණයට පත්වීමට ඉඩ ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. ඒ අතරින් වැඩි පිරිසක් යුරෝපයේ සහ මධ්‍යම ආසියාවේ රටවලින් වාර්තා වනු ඇති බව ඔවුහු පවසති. මේ අනුව ඒ වනවිට මෙම කලාපයේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව මිලියන 2.2ක් පමණ වනු ඇත. යුරෝපය නැවතත් කොවිඩ් වසංගතයේ කේන්‍ද්‍රස්ථානය බවට පත්ව ඇති අතර ගෝලීය වශයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගෙන් අඩකටත් වඩා වාර්තා වන්නේ මෙම කලාපයෙනි. ලෝක සෞඛ්‍ය සංවිධානය යුරෝපා කලාපය ලෙස හඳුන්වන කලාපයට රටවල් 53ක් අයත් වේ.

මෙම රටවලින් වැඩි සංඛ්‍යාවක රෝහල්වල දැඩි සත්කාර ඒකක මත ඉතා දැඩි පීඩනයක් එල්ල වීමට නියමිත බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මේ වනවිට යුරෝපා කලාපය තුළ සිදුවන මරණවලින් වැඩි ප්‍රමාණයක් සිදු වන්නේ කොවිඩ් රෝගය නිසා බවද අනාවරණය වී ඇත. මෙම කලාපයේ කොවිඩ් ආශ්‍රිත මරණ පසුගිය දිනවල දෙගුණයක් දක්වා වැඩි වී තිබූ අතර මේ වනවිට මෙම කලාපයෙන් දිනකට එවැනි මරණ 4,200ක් පමණ වාර්තා වේ. රුසියාවෙන් පමණක් දිනකට මරණ 1,200ක් පමණ වාර්තා වන තත්ත්වයක් මතුව තිබේ.

මෙම කලාපයේ ඇතැම් රටවල් නැවතත් අගුළුලෑම් ක්‍රියාත්මක කිරීමට පවා පියවර ගෙන ඇත. ප්‍රංශය, ජර්මනිය, ග්‍රීසිය වැනි රටවල් ඉදිරියේදී සම්පූර්ණයෙන් එන්නත් කළ පුද්ගලයන් ලෙස සලකනු ඇත්තේ එන්නත් මාත්‍රා තුනක් ලබාගත් පුද්ගලයන් බවද සඳහන් වේ. යුරෝපයේ ඇතැම් රටවල එන්නත්කරණය අඩු මට්ටමක පැවැතීමත්, ශීත සෘතුව එළැඹෙමින් තිබීමත්, වඩාත් වේගයෙන් පැතිරෙන ඩෙල්ටා ප්‍රභේදය ප්‍රධාන ප්‍රභේදය බවට පත්ව තිබීමත් යුරෝපයේ වසංගතය උත්සන්න වීමට හේතු ලෙස විශේෂඥයෝ පෙන්වා දෙති. සහන් වික්‍රමගේ
 

More News..