brand logo

තල්මස්සු පානදුරේට ආවේ යුද අභ්‍යාසයට බයේද?

07 November 2020

ප්‍රේමයෙන් මුසපත්ව ගී ගයමින් තම බල ප්‍රදේශ ලකුණු කර ගන්නා යෝධ තල්මසුන් මුහුදු දිය දෙබෑ කරමින් එකිනෙකා පරයා වරින් වර ඉහළ පහළ යන්නේ, දියඹෙහි චමත්කාරජනක දසුන් මවමිනි. අපේ රටේ එවන් දර්ශනයක් නරඹන්නට නම් අපි එක්කෝ ගාල්ලෙන් නැව් නැග මිරිස්ස මුහුදට යා යුතුය. නැත්නම් කල්පිටියට හෝ තිරිකුණාමලයට යා යුතුය. ඒ සඳහා එක් අයකුට රුපියල් හාරපන්දහසක් දැරීමට ද සිදුවේ. ඒ ගියද අපිට වරකට දැක ගන්නට ලැබෙන්නේ එක් තල්මසෙකු හෝ දෙදෙනෙකු පමණි. ඒකත් පැය දෙක තුනක් මුහුදේ රස්තියාදු වීය. එහෙත් යෝධ තල්මසුන් රංචුවක් ම නොමිලයේම දැක බලා ගන්නට ඉකුත් සතියේදී පානදුර වෙරළවාසීන්ට නම් අරුමපුදුම අවස්ථාවක් හිමි විය. ඒ, තල්මසුන් විශාල සංඛ්‍යාවක් පානදුර වෙරළට ඉකුත් දෙවෙනිදා පස්වරුවේ හිටිහැටියේ පිහිනා ඒම නිසාය. මේ සිද්ධිය සමග බොහෝ දෙනා මත පළ කළේ, මත්ස්‍යයන් විශාල රංචුවක් ගොඩබිමට ඇදී ඒම අසාමාන්‍ය සිද්ධියක් බවයි. සාගර පත්ලේ කිසියම් වූ අන්තරායකාරී සිද්ධියක් වීම නිසා මොවුන් මෙලෙස ගොඩබිමට ඇදී එන්නට ඇතැයි ඔවුහු සැක පහළ කළහ. එහෙත් තල්මසුන් එලෙස ගොඩබිමට ඒම කිසිම ආකාරයක අසාමාන්‍ය තත්ත්වයක් නොවන බව සමුද්‍ර ක්‍ෂීරපායි සංරක්ෂණ විද්‍යාඥ රනිල් නානායක්කාර පවසන්නේය. ඔහු පෙන්වා දෙන්නේ, ඉතා ඉක්මනින් රංචු ලෙස ගොඩබිමට එන සත්ත්ව විශේෂයක් ලෙස මේ තල්මසුන් ලොව පුරා වාර්තාගත බවයි. පානදුර වෙරළට හදිසියේ ගොඩබට මේ දැවැන්තයන් “ග්ලොබිසිෆෙලා මැක්‍රන්චස්” (Globicephala macronhynchus) යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන “ඩෙල්ෆිනිඩේ” (Delphinidae) පවුලට අයත්, කෙටි වරල් සහිත තල්මසුන් විශේෂයකි. මොවුන් සිය වාස භූමිය කරගෙන ඇත්තේ ඉන්දියානු සාගර කලාපයයි. ලෝකයේ වැඩිම බුද්ධියකින් යුත්, “නියමු තල්මසා” (Pilot whales) ලෙසින් නම් දරන මොවුන් ධීවරයන්ට නම් “කළු තල්මසා”ය. “නියමු තල්මසාගෙ තියෙන විශේෂත්වය තමයි, ඔවුන් හැමවිටම ඉන්නෙ තමන්ගෙ පවුලෙ අය එක්ක එකටමයි. ඔවුන්ගෙ පවුල් සම්බන්ධතාව ඉතාම වැඩියි. ඒ නිසා එක්කෙනෙක් කොහේ හරි තැනකට ගියොත් රංචුව ඒ පිටුපසින් ගමන් කිරීම තමයි එයාලගෙ සිරිත.” සමුද්‍ර සම්පත් සුරකින්නෝ සමුද්‍ර පර්‌යේෂණ කණ්ඩායම් නායක ප්‍රසන්න වීරක්කොඩි පවසන්නේය. සමුද්‍ර ක්‍ෂීරපායි සංරක්‍ෂණ විද්‍යාඥ රනිල් නානායක්කාර පවසන්නේද, මොවුන් හැමවිටකම පුරුදුව ඇත්තේ සිය නායකයා අනුගමනය කරන්නට බවයි. ඔහු පෙන්වා දෙන පරිදි ඔවුන්ගේ නායකයා බොහෝ විට ගැහැනු සතෙකි. ඒ පිටුපසින් හැමදෙනා එකම තැනකට යාමත්, කිසිවකුට හෝ කරදරයක් වුවහොත් ඔහුව තනි නොකිරීමත් ඔවුන්ට ආවේණික ගති ලක්‍ෂණයකි. සමුද්‍ර විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ, මේ තල්මසුන් ගොඩබිම දෙසට පැමිණීමට විවිධ හේතු බලපෑ හැකි බවයි. එනම්, ඇතැම් අවස්ථාවක රංචුවේ එක් අයකුට යම් ආකාරයක තුවාලයක් වීම නිසා ඒ තල්මසා ගොඩබිමට ඇදී ආවොත්, අනෙක් පිරිසද ඔහුගේ සහයට ගොඩබිමට පැමිණේ. නියමු තල්මසුන් ඒ තරම්ම ශක්තිමත් පවුල් බැඳීමකින් ජීවත්වන්නෝ ය. එබැවින් කිසිදු අවස්ථාවකදී එක් අයකු පමණක් තනි කිරීම ඔවුන්ගේ සිරිත නොවේ. “ඒ වගේ ම තවත් අවස්ථාවලදී මෙයාලා වැරදීමකින් නොගැඹුරු දියට එන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී නොගැඹුරු දියේ රැළිවලට වැලි ගතිය මුසු වෙලා තිබුණොත් නොගැඹුරු ජලයෙදි තමන්ගෙ පාර නිවැරිදිව හොයා ගන්න එයාලට තරමක් අපහසු වෙනවා. එවැනි අතරමං වීමකින් ගොඩබිමට එන්නත් පුළුවන්.” ප්‍රසන්න වීරක්කොඩි පෙන්වා දෙන්නේය. තල්මසුන් දියඹේදී සිය මාර්ගය තෝරා ගන්නේත්, ඔවුන්ගේ සියලු තොරතුරු එකිනෙකා සමග සන්නිවේදනය කරගන්නේත්, ශබ්ද තරංග (සෝනාර්) උපයෝගී කරගනිමිනි. නාවික කටයුතු මෙන්ම හමුදා කටයුතුවලදීද එවැනි රේඩාර් පද්ධති සඳහා ද එවැනි ශබ්ද තරංග උපයෝගී කරගන්නා බවයි. නොගැඹුරු මුහුදේ රැළි සමග වැලි මුසු වූ විටෙක තල්මසුන්ට සිය මාවත නිසි ලෙස තෝරා ගන්නට නොහැකි වෙන්නේ එකී ශබ්ද තරංග එවැනි පරිසරයක් තුළ නිසි ලෙස ක්‍රියාත්මක නොවන හෙයිනි. සාගර දියවැල්වල සිදුවන වෙනස්කම් හෝ සුනාමි තත්ත්වයන් ඇති කරන ආකාරයේ භූ කම්පන සාගරයේ වූ අවස්ථාවලදී මේ ආකාරයෙන් මත්ස්‍යයින් වෙරළට ඇදී ආ හැකි බවට ඇතැම්හු මත පළ කරති. එහෙත් සාගර විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ, එවැනි කම්පන අවස්ථාවකදී මත්ස්‍යයින් ගැඹුරු මුහුදට යනවා මිස වෙරළට ඇදී එන්නේ නැති බවය. “ඒ වගේම කම්පනයක් වුණොත් එයාල ඊට විරුද්ධ දිසාවට තමයි යන්නෙ. ඒත් ගොඩබිමටම එන්නෙ නෑ. පසුගිය කාලවල අන්දමන් දූපත් ආශ්‍රිතව ඇති වූ එවැනි කම්පන තත්ත්වයන්වලදී මත්ස්‍යන් අපේ වෙරළ පැත්තට රංචු පිටින් ආව.”සමුද්‍ර ක්ෂීරපායි පර්‌යේෂණ විද්‍යාඥ රනිල් නානානයක්කාර පවසන්නේය. මේ ආකාරයෙන් තල්මසුන් ගොඩබිමට ආ අවස්ථා ද බොහොමයකි. එක්දහස් නවසිය විසි නවය වසරේදී යාපනේ කයිට්ස් දූපත් ආශ්‍රිතව මේ ආකාරයෙන් ම තල්මස්සු විශාල සංඛ්‍යාවක් ගොඩබිමට පැමිණියහ. එක්දහස් නවසිය තිස් හතරේදී මුතූර් වෙරළට ද තල්මසුන් එකසිය හැටකට අධික සංඛ්‍යාවක් පැමිණ ඇති බවට තොරතුරු වේ. මීට වසර දෙකකට පමණ ඉහතදී සාම්පූර් වෙරළට ද තල්මසුන් විස්සක් පමණ පැමිණි අතර කොළඹ ගාලුමුවදොර වෙරළට තල්මසුන් පැමිණියේ මීට වසර දහයකට පමණ ඉහතදීය. එවර ඔවුන්ගේ කණ්ඩායම දහදෙනෙකුගෙන් පමණ සමන්විත විය. ලෝක මට්ටමින් ද ඔවුන්ගේ ආගමනයන් ගැන තොරතුරු වාර්තා වේ. දකුණු ඕස්ට්‍රේලියාවේ තස්මේනියා වෙරළ තීරයට තල්මසුන් විශාල සංඛ්‍යාවක් පැමිණ තිබුණේ ඉකුත් වසරේදීය. ඒ අවස්ථාවේදී වෙරළට ආ තල්මසුන් තුන්සියකකට අධික සංඛ්‍යාවක් මියගොස් තිබුණි. එහෙත් ඉකුත් දෙවෙනිදා පස්වරුවේ තල්මසුන් රංචුව පානදුර වෙරළට ඇදී එන්නට බලපෑයේ, මීට හාත්පසින් ම වෙනස් ආකාරයේ හේතුවක් වන්නට ඇති බවට සමුද්‍ර විද්‍යාඥයෝ සැක පළකරති. ඔවුන් අනුමාන කරන්නේ, මේ දිනවල ඉන්දියානු සාගර කලාපය තුළ රටවල් කිහිපයක් එක්ව දියත් කර ඇති නාවික මෙහෙයුම්, යුද අභ්‍යාසවල අහිතකර බලපෑමකින් මේ දැවැන්තයන් මෙලෙස ගොඩබිම කරා පැමිණෙන්නට ඇති බවය. ඔවුන් පෙන්වා දෙන්නේ ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, ජපානය හා ඇමරිකාව එක්ව දියත් කර ඇති මෙම මෙහෙයුම්වලදී භාවිත කරන අධි ශබ්ද තරංගවලින් මේ සතුන්ගේ තරංග පද්ධතිවලට හානි විය හැකි බවයි. “ගොඩක් වෙලාවට මේ වගේ අභ්‍යාසවලදී සබ්මැරීන සොයා ගැනීම සඳහා ඔවුන් අධික ශබ්ද සහිත පද්ධති භාවිත කරන්න පුළුවන්. එතකොට ඒ ආකාරයේම ශබ්ද තරංග භාවිත කරන මත්ස්‍යයින්ට එමගින් ලොකු බලපෑමක් එල්ල වෙනවා.” ප්‍රසන්න වීරක්කොඩි අවධාරණය කරන්නේ ය. ඔහු පෙන්වා දෙන්නේ ඇතැම් විටක එවැනි ශබ්ද දරා ගැනීමට නොහැකිව මත්ස්‍යයින්ගේ ඉන්ද්‍රීය පද්ධතින්ට පවා හානි විය හැකි බවයි. මෙහිදී ද එවැනි තුවාල වීමකට ලක් වූ තල්මසුන් ගොඩබිම දෙසට ඇදී එද්දී අනෙක් රංචුව ම ඒ පිටුපස එන්නට ඇතැයි සිතිය හැකි බව සමුද්‍ර විද්‍යාඥයන්ගේ මතයයි. එමෙන් ම එවැනි අවස්ථාවල ඇති වන අධික කම්පනය නිසා ඔවුන්ගේ සමස්ත සන්නිවේදන පද්ධතියම අවුල් වී යා හැකි අතර ඒ නිසා ඔවුන් එක්තරා ආකාරයක අතරමං වීමකට ලක්විය හැකිය. ඒ නිසා මේ තල්මසුන් ගොඩබිමට පැමිණෙන්නට ඇතැයි යන කාරණාව ද මතු වී තිබේ. විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මේ කාරණය නිශ්චිතව තහවුරු කරගන්නට සාධක තවම හෙළි වී නැති බවයි. එහෙත් එවැනි අවස්ථාවක මිය යන තල්මසුන්ගේ මොළය, පෙණහලු ආදිය ගැන පරීක්‍ෂා කිරීමෙන් ඒ පිළිබඳව නිගමනයකට පැමිණිය හැකි බව ද ඔවුහු පවසති. කාගේ වරදින් හෝ පානදුර වෙරළට ද අසරණ වූ නියමු තල්මසුන් සියයකට ආසන්න සංඛ්‍යාවක් ඇදී ආ බව අපි දුටිමු. ඉහළ නැගෙන රළ සමගද පොර බදමින්, වෙරළට ආ දැවැන්තයන් යළි දියඹට හරවා යවන්නට පානදුර ප්‍රදේශවාසීන්ටත් ආරක්‍ෂක අංශ නිලධාරීන්ටත් දැඩි වෙහෙසෙක් දරන්නට සිදුවිය. නාවික හමුදාවේ වේග යාත්‍රා හයක් ද ඒ සඳහා යොදා ගැණිනි. මේ තත්ත්වය වඩාත් බරපතළ වූයේ දියඹට හරවා යවන තල්මසුන් යළි යළිත් වෙරළ දෙසට ම ඇදෙන්නට වූ නිසාය. “වෙරළෙ තමන්ගෙ සගයො කිහිප දෙනෙක් රැඳිලා විලාප නගද්දි තනියම මුහුදට යන්න මෙයාලා කැමති නෑ. ඒ නිසයි එයාල යළි යළිත් වෙරළටම ආවෙ. වෙරළෙ එක්කෙනෙක්වත් නොසිටින විදිහට රංචු වශයෙන් එයාලව එක වතාවෙම මුහුදට ගෙනියන්න කටයුතු කළාම තමයි ඔවුන් දියඹට ගියේ.” ප්‍රසන්න වීරක්කොඩි මහතා පවසන්නේය. එහෙත් මේ ඇබැද්දියේදී නියමු තල්මසුන් පස් දෙනෙකුට සිය දිවි අහිමි විය. වනජීවි දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය නිලධාරී සුහද ජයවර්ධන මාධ්‍යයට අදහස් දක්වමින් පැවසූයේ ඔවුන්ගේ සිරුරු පිළිබඳව කළ පරීක්‍ෂණවලදී, පෙණහලු සහ අක්මාවට බරපතළ හානි සිදු වී ඇති බවක් දැක ගන්නට ලැබුණු බවයි. වැඩිදුර පරීක්‍ෂණ සඳහා ඒ කොටස් පර්‌යේෂණාගාරවලට යොමු කර ඇති බව ද ඔහු කීය. කුමනාකාරයෙන් වුවද මේ අහිමිව යන්නේ සොබාදහමෙන් ලද සාගර මත්ස්‍ය සම්පතයි. තවම නිශ්චිතව කරුණු තහවුරු කර ගැනීමට නොහැකි වුවද, ලොකු ලොකු රටවල්වල අදූරදර්ශී ක්‍රියාකලාපයන් මේ විපත්තියට ද හේතු වන බැව් දැන් පැහැදිලිය. සාගර පර්‌යේෂණ විශේෂඥයන් මීට පෙර අවස්ථා කිහිපයකදී ම පෙන්වා දී ඇත්තේ, මෙවැනි නාවික මෙහෙයුම්වලට භාවිත කරන අධි තරංග නිසා තල්මසුන්ට හානි වන බැවින් එවැනි ශබ්ද තරංග මෙහෙයුම්වලට භාවිත කිරීමෙන් වැළකිය යුතු බවයි. එහෙත් ලෝක බලවතුන් එවැන්නකට තවමත් කන්දුන් බවක් පෙනෙන්නට නැත. ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ප්‍රකට විද්වතෙක් වන මහාචාර්ය රොහාන් සමරජීව පවසන්නේ තවමත් ඒ සම්බන්ධයෙන් පැහැදිලි නීතියක් හෝ ප්‍රකාශයට පත්වී නැති බවයි. එහෙම නීතියක් හැදුවත් කවුද ඒ ගැන සොයා බලන්නේ. මේ ගැන බලන්න ජාත්‍යන්තර ආයතනයක් නෑ.’’ ඔහු කීවේය. අනෙක් අතට තමන්ගේ අධි තාක්‍ෂණික නවීන යුද උපකරණ සියල්ල සඳහා මෙම තාක්‍ෂණය භාවිත කර ඇති පරිසරයක ඔවුන් මත්ස්‍යයෙකුගේ ජීවිතයක් වෙනුවෙන් ඒ සියල්ල අත්හිටුවන්නට එකඟ වනු ඇතැයිද සිතිය නොහැකිය. අපිත් ඔවුන්ගේය. මුහුදත් ඔවුන්ගේය. එබැවින් හැමදාමත් සේ මෙවරත් සිදු වූයේ මහඋන්ගේ වරදට පොඩිඋන්ට තැළෙන්නටය.   ගයාත්‍රි ගීගනආරච්චි
 

More News..