brand logo

තරුණයින් 11ක් පැහැරගත් සිද්ධිය : වසන්ත කරන්නාගොඩ ඇතුළු 14කට එරෙහි නඩුවට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස නීතිපති අගවිනිසුරුගෙන් ඉල්ලයි

11 November 2019

ඉකුත් පාලන සමයේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පදිංචි තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබා ගැනීමේ අරමුණින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා අතුරුදන් කිරීමේ සිද්ධින් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුලු නාවික හමුදා නිලධාරීන් 14 දෙනකුට එරෙහිව ගොනු කරනු ලබන නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම්කරන ලෙස නීතිපතිවරයා විසින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් මෙම ඉල්ලීම අග විනිසුරුවරයා වෙත ලිඛිතව ඊයේ (11) දින යොමු කළ බව ජේෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා සදහන් කලේය. 2008 වසරේ අගෝස්තු මස 25 වනදා සහ 2009 වසරේ මාර්තු මස 31 වන අතර කාලසීමාව තුළ කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල පදිංචි තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් කප්පම් ලබා ගැනීමේ චේතනාවෙන් අයුතු ලෙස සිරකර තබා අතුරුදන් කිරීම පිළිබඳව චෝදනා කරමින් නීතිපතිවරයා විසින් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ, හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී. කේ. පී දසනායක ඇතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 667 ක් යටතේ කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන තිබේ. ඉකුත් කාලයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් මෙම සිද්ධියට අදාළ නඩුව ජූරි සභාවක් නොමැතිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීමට සුදුසු බව නීතිපතිවරයා විසින් නිගමනය කර තිබේ. ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 450(4) වගන්තිය යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම නඩුව විභාග කිරීම සඳහා ජූරි සභාවක් නොමැති ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම්කළ ලෙස නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයා වෙත යොමුකළ ලිඛිත ඉල්ලීමෙහි වැඩිදුරටත් සඳහන් කර ඇත. අධිකරණ වාර්තාකරු
 

More News..