brand logo

තරුණයන් පුච්චන කිරිගල්හේනේ වධකාගාරය

05 January 2020

‘මුදා නොගත් ප්‍රදේශ’ යන විශේෂණ පදය ලංකාවේ භාවිත වූයේ දෙදහස් නවයේ මැයි මාසයට පෙරය. ඒ උතුර හා නැගෙනහිර ඇතැම් ප්‍රදේශ එල්.ටී.ටී.ඊ. ග්‍රහණයේ පසුවූ බැවිනි. මුදා නොගත් ප්‍රදේශ යනුවෙන් හැඳින්වූ කොටි පාලන ප්‍රදේශවල එකල තිබුණේ කැන්ගරු උසාවියේ නීතියයි. එල්.ටී.ටී.ඊ.ය කියන දේ එම ප්‍රදේශවල නීතිය විය. එම නීතිය කඩ කරන්නේ නම් දඬුවම් උරුමය විය. දෙදහස් නවයේ මැයි මාසයෙන් පසුව මුදා නොගත් ප්‍රදේශ යනුවෙන් හැඳින්වෙන ගමක් මේ රටේ තිබුණ බවක් අසා තිබුණේ නැත. එනමුත් එවැනි මුදා නොගත් බිමක් තිබුණේය. ඒ උතුරේ හෝ නැගෙනහිර නොවේ. කළුතර හොරණ කිරිගල්හේනේය. ඒ ගමේ ගම්මු හවස හයෙන් පසු එළියට බහින්නේ නැත. ඔවුන් එළියට නොබසින්නේ රෑ පානේ එළියට ගියොත් අලි කොටි ගහන නිසා නොවේ. කිරිගල්හේන පාලනය කරන පාතාලයට බියේය. මෙම පාතාල කණ්ඩායමේ ප්‍රධානියා ලෙස පෙනී සිටියේ ඊශ්වරගේ දොන් නීලක සඳරුවන් නමැති 22 හැවිරිදි තරුණයෙකි. නීලක සඳරුවන් පමණක් නොව ඔහු​ගේ පියාගේද කැරැට්ටුව හොඳ නැත. ඔහුගේ පියා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාවකට වරදකරු වී ජීවිතාන්තය දක්වා දැන් සිටින්නේ මහඋළුගෙදර කල්දේරම් බතේ රස බලමිනි. තාත්තාගේ වැඩේ පුතා නොකළොත් ඌ නොට්ටිගේ පුතා කියන කතාව අසා ගැනීමට නීලක සඳරුවන් කැමති නොවන්නට ඇත. නීලක සඳරුවන්ගේ අනෙක් සගයන් වූයේ වන්නිගේ අවිශ්ක දිල්ශාන් නොහොත් ඇම්ඩා, දේවගේ අමිල ප්‍රියරංග නොහොත් ජෝගි, ඩිලාන් ලක්සිරු ප්‍රියංකර යන අයය. ඩිලාන් මෙම කල්ලියේ වැඩිමලාය. වයස අවුරුදු විසිනවයකි. මේ පිරිසේ බාලයා දිල්ෂාන් නොහොත් ඇම්ඩාය. ඔහුගේ වයස අවුරුදු දාසයකි. කුඩා කාලයේම දිල්ෂාන්ගේ දෙමාපියන් ඔහු අතහැර ගොස්ය. මේ නිසා ඔහු හදා ගන්නේ ආච්චිඅම්මා විසිනි. මේ නඩේ දිවා කාලය කොහේ හෝ මුල්ලකට වී නිදා ගැනීම ඔවුන්ගේ පුරුද්දකි. ඔවුන් ගමේ එළියට බහින්නේ රාත්‍රියේය. නිශාචර කල්ලියේ ප්‍රධානම ආදායම් මාර්ග වනුයේ මත්ද්‍රව්‍ය ජාවාරම සහ කප්පම් ගැනීමයි. ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් හට තර්ජනය කිරීමෙන් මොවුන් මාසිකව ලක්ෂ 10කට ආසන්න මුදලක් කප්පම් ලෙස ලබාගෙන ඇති බව අනාවරණය වී ඇත. හොරණ, පාදුක්ක, මිල්ලෑව, මොරගහහේන ආදී ප්‍රදේශවලට අයිස්, හෙරොයින්, ගංජා, මත්පෙති බෙදාහැර විකිණීමද සිදුකරන්නේ මෙම කල්ලියේම ප්‍රධානියා වන නීලක බව පැවසේ. ඔවුන් ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගෙන ඇත්තේ මරණ තර්ජන එල්ල කරමිනි. එක්තරා ව්‍යාපාරිකයකු කප්පම් දීම ප්‍රතික්ෂේප කළ නිසා ඔහුට සිදුවී ඇත්තේ කඩු පහරකට ලක්වී රෝහල් ගතවීමටයි. යම් හෙයකින් පොලිස් පොතේ ඔවුන්ට එරෙහිව පැමිණිලි කරන්නට ගැමියෙක් ගියහොත් ඔහුට සිද්ධවනු ඇත්තේ ජීවිත ආසාව අතහැර ගන්නටය. දිනක් තරුණයන් දෙදෙනකු මේ පිරිසගේ මැරකම් ප්‍රසිද්ධියේම විවේචනය කර තිබිණි. ඒ බව නිශාචර පාතාල කල්ලියට කන වැකී තිබිණි. ඉන්පසුව ඔවුන් කළේ එම තරුණයන් දෙන්නා තමන්ගේ වධකාගාරයට කැඳවීමය. ඔවුන්ට දඬුවම්දී ඇත්තේ ඔවුන්ගේ පාදවලට පෙට්‍ර්ල් දමා පිච්චීමෙනි. එසේ එම තරුණයන් දෙදෙනා පුච්චන අයුරු නිශාචර පාතාල කල්ලිය සිය ජංගම දුරකථනවලින් වීඩියෝ ගත කර තිබේ. එහෙත් ඒ බව තරුණයන් දෙන්නා කිසිවෙකුට පවසා නැත. ඒ තමන් මරා දමතැයි බියෙනි. මෙම පහරකෑමට ලක්වූ තරුණයන් දෙදෙනා තම නිවසේවලට පවසා ඇත්තේ යතුරු පැදියෙ සයිලන්සරයට පිළිස්සුණු බවයි. එසේ කියමින් ඔවුන් රෝහල්ගතවී වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන තිබිණි. මෙම වධකාරය ලෙස ඔවුන් භාවිත කර ඇත්තේ දහසය හැවිරිදි වන්නිගේ අවිශ්ක දිල්ශාන් නොහොත් ඇම්ඩාගේ නිවසයි. මව පියා නොමැති නිසා එම නිවස ඔවුන් වධකාගාරය ලෙස භාවිත කොට ඇත. මෙම ප්‍රදේශයේ බොහෝ පිරිස් ප්‍රදේශයෙන් පිටමං වී ඇත්තේ මොවුන්ගේ මෙම අමානුෂික ක්‍රියා කලාපය දරා ගැනීමට නොහැකි නිසාය. සවස 6න් පසු පාරේ යම් අයකු කිරිගල්හේන ගමේ ගමන් කරයි නම් මොවුනට කප්පම් ගෙවිය යුතුය. නගරයේ රැකියාවට යන කාන්තාවන්ගේ ගෙලබැඳි රන්මාල කඩා ගැනීම මොවුන්ගේ තවත් එක් ආදායම් මාර්ගයකි. එහෙත් එම තරුණියන් ඒ ගැන පොලිසියට පැමිණිලි කර නැත. ඒ තමන් පැහැරගෙන ගොස් දූෂණය කර මරා දමතැයි බියෙනි. එසේ වුවත් ඇතැම් තරුණියන්ට මේ මැර කල්ලියෙන් ගැලවීමක් නොවීය. ඔවුන්ට හිත ගියහොත් කිසියම් තරුණියක් සිටි නම් නිවැසියන් ඒ තරුණිය මැර කල්ලියට දිය යුතුය. මේ හේතුව නිසා ඇතැම් දෙමාපියන් මේ තරුණ දූවරු ආරක්ෂා කර ගැනීමට කිරිගල්හේන ගම අතහැර වෙනත් ප්‍රදේශවලට පලා ගියහ. මීට සතියකට පමණ පෙර හොරණ ප්‍රදේශයේ පැවැති සංගීත ප්‍රසංගයකදී පිරිසක් සමග මෙම මැර කල්ලිය ආරවුලක් ඇතිකොට ගෙන තිබිණි. එය ව්‍යර්ථ කිරීමට හොරණ පොලිසියට හැකි වූ නිසා මොවුන් තීරණය කොට ඇත්තේ පොලිස් නිලධාරීන්ට ප්‍රහාරයක් එල්ල කිරීමටයි. මේ අතරේ මේ මැර කල්ලියේ තාඩන පීඩන දරා ගැනීමට නොහැකි වූ ගම්වැසියන් විශේෂ කාර්ය බළකායට දුරකථන ඇමතුමක් දෙන්නේය. වහාම ක්‍රියාත්මක වූ නිලධාරියා මේ බව පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනාවිධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්ට දැනුම් දුන්. ඔහුගේ අධීක්ෂණයෙන් මෙම කල්ලිය අල්ලා ගැනීමට මෙහෙයුම් සැලැස්මක් සකස් කෙරුණි. ඒ අනුව විශේෂ කාර්ය බළකායේ පිරිසක් වෙස්වලාගෙන කිරිගල්හේන ගමට ගියහ. එහිදී වධකාගාරයේ සිටි සිව්දෙනෙක් විශේෂ කාර්ය බළකා අත්අඩංගුවට පත්විය. මොවුන් සතුව තිබී මන්නා පිහි 6ක්, කඩු හතරක්, ජංගම දුරකථන 6ක්, කේරළ ගංජා ග්‍රෑම් 50ක් සොයා ගැනීමට හැකිවිය. ඔවුන්ගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීමේදී එහි තිබී තරුණයන්ට පෙට්‍ර්ල් දමා පුච්චන වීඩියෝ දර්ශන සොයාගෙන තිබේ. එහිදී දැන ගැනීමට ලැබුණේ දස දෙනකුගෙන් පමණ සැදුම්ලත් අපරාධ කල්ලියක් කිරිගල්හේන ගමේ භීෂණය පතුරවමින් සිටින බවය. කල් යල් බලා පොලිස් විශේෂ කාර්ය බළකාය කිරිගල්හේන නිවසක් ඉකුත් 26වැනිදා වටලන්නේ කිසිවකුටත් සිතා ගැනීමට නොහැකි අයුරෙනි. ප්‍රශ්න කිරීම්වලදි හෙළි වී ඇත්තේ සංගීත සංදර්ශනයේදී පොලිසිය තමන්ට පහරදුන් නිසා ඊට හොරණ පොලිසියෙන් පළිගන්නට ඔවුන් සැලසුම් කර සිටි බවය. පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනාවිධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්ගේ නියෝග මත සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ සහකාර පොලිස් අධිකාරි කේශර රත්නවීර අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සී.ආර්. පාරමුල්ලගේ ඇතුළු නිලධාරීහු මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වූහ. සැකකරුවන් හොරණ පොලිසියට භාරදී අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. හේමන්ත ලියනපතිරණ
 

More News..