brand logo

තමිල්නාඩුවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් 3,815 ක් යළි දිවයිනට

16 August 2018

තමිල්නාඩුවේ කඳවුරුගතව ජීවත්වන සිටි ශ්‍රී ලාංකික සරණාගතයින් 3,815 ක් ඉතා ඉක්මනින් මෙරටට ගෙන්වාගැනීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් විසින් අගමැතිවරයා වෙත යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. අගමැතිවරයා වැඩිදුරටත් පවසන්නේ, පසුගිය අවුරුද්දේ සරණාගතයින් 1520 ක් තමිල්නාඩුවේ සිට මෙරටට ගෙන්වාගත් බවයි. එමෙන් ම ඔවුන් අතර සිටි අවු. 18 ට වැඩි සරණාගතයින් සියලු දෙනාටම රුපියල් 17,500 බැගින් වූ ‘පුද්ගලික දීමනාවක්’ ද, සෑම පවුලක්ම ආවරණය වන පරිදි රුපියල් 33,000 ක් ද ‘ආධාර වශයෙන්’ ලබා දුන් බව යි. තවදුරටත් තමිල්නාඩුවේ කඳවුරු 107 ක් තුළ ශ්‍රී ලාංකික සරණාගතයින් 61,422 ක් පමණ ජීවත් වන අතර මොවුනගෙන් බහුතරය 1983 ජූලි කලබලයේ දී රට හැරගිය අයවලුන් ය. එමෙන් ම උතුරු - නැගෙනහිර යුද ගැටුම් අතරතුර තමිල්නාඩුවට සංක්‍රමණය වූවන් ද ඒ අතර වේ. සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ කොමසාරිස් කාර්යයාලයේ නිල දත්ත අනුව යුද්ධය අවසන් වූ පසු, එනම් 2010 න් පසු මේ දක්වා, තමිල්නාඩුවේ සිට යළි ශ්‍රී ලංකාව බලා පැමිණි සියලුම සරණාගතයින්ගේ සංඛ්‍යාව 9,509 කි. - සුරේඛා සමරසේන
 

More News..