brand logo

තමාගේ ප්‍රකාශය මතුපිටින් බලා විවිධ පිරිස් වැරදි අවබෝධයක් ඇතිකරගෙන - විග්නේශ්වරන්

16 December 2019

මෙරට බෞද්ධ රටක් නොවන බවට තමා ප්‍රකාශයක් සිදුකළේයැයි දකුණේ ජනතාව වැරදි අවබෝධයක් ඇතිකරගෙන තිබෙන බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා පවසයි. විග්නේශ්වරන් මහතා පැවසුවේ ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පතක මාධ්‍යවේදීයෙකු යොමුකළ ගැටළුවලට පිළිතුරු වශයෙන් තමන් ලබාදුන් පිළිතුරක් කේන්ද්‍ර කර ගනිමින් දකුණේ ජනතාව වැරදි අවබෝධයක් ඇතිකරගෙන ඇති බවයි. උතුරු නැගෙනහිර ඉතිහාසය සම්බන්ධයෙන් අධ්‍යයනය කරනු ලැබු දෙමළ පුරාවිද්‍යා විශාරදයින් හා ඉන්දියානු පුරාවිද්‍යා විශාරදයින්ගේ විග්‍රහය අනුව මෙරට උතුරු නැගෙනහිර පළාත්වල පෞරාණික ජනාවාස බුදු රජාණන් වහන්සේගේ කාලයට පෙර කාලයේ පටන් තිබි ඇති බවට ‍ඔප්පු වන බවද හෙතෙම පැවසුවේය. විග්නේශ්වරන් මහතා වැඩිදුරටත් පැවසූවේ උතුරු නැගෙනහිර පළාත් තුළ බෞද්ධ ශිෂ්ටාචාරය ආරම්භවීමට පෙර ජනාවාස පැවති බවට තමන් ප්‍රකාශ කළ අතර, අදාළ ප්‍රකාශය මතුපිටින් බලා දකු‍ණේ ඇතැම් පිරිස් කෝපවි ඇති බවයි. තමන් අදහස් කරනු ලැබුවේ උතුරු නැගෙනහිර ඉතිහාසය සම්බන්ධයෙන් සිංහල පුරාවිද්‍යා විශාරදයින්, දමිළ පුරාවිද්‍ය විශාරදයින්,ඉන්දියානු පුරාවිද්‍යා විශාරදයින් සියළු දෙනා එක්ව විධිමත් පරීක්ෂා කිරීමක් සිදුකළ යුතු අතර, ඒ තුළින් උතුරු නැගෙනහිර ඉතිහාසය සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක් ලබාගත හැකි වන බවයි. ඒ වෙනුවෙන් වන පරීක්ෂා කිරීමවලට අදාළ මුල්‍ය දායකත්වයද සපයාදීමේ සම්බන්ධීකරණ කටයුතු සකස් කොට දිය හැකි අතර, ඒ තුළින් මෙරට උතුරු නැගෙනහිර ඉතිහාසය,ශ්‍රී ලංකාවේ ඉතිහාසය සම්බන්ධයෙන් නිවැරදි අවබෝධය ලබා ගැනීමට හැකියාවක් පවතින බවද හෙතෙම වැඩිදුරටත් පැවසුවේය. තමා සිදුකරන ප්‍රකාශ මතුපිටින් බලා ඇතැම් පිරිස් තමා කෙරෙහි වෛරයක් ඇතිකරගත යුතු නොවන අතර, උතුරු නැගෙනහිර නිවැරදි ඉතිහාසය දැන ගැනීම සිදුකළ යුතු බවට තමා අදහස් කළ බවද හිටපු ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේය. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..