brand logo

තමන් නිවැරදිකරු යැයි සජින් වාස් කොළඹ මහාධිකරණය හමුවේ කියයි

25 February 2020

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ කාල සමාව තුළ සිය නීත්‍යනුකූල ආදායම අභිබවා රුපියල් කෝටි 30 කට අධික වත්කම් සහ මුදල් අයථා ලෙස අත්පත් කරගත්තේ යැයි නීතිපතිවරයා විසින් එල්ල කර තිබෙන චෝදනා වලට තමන් නිවැරදිකරුු යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අද (25) කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව ගොනුකර තිබූ චෝදනා පත්‍රය විවෘත අධිකරණයේ කියවන ලදී. ඊට ප්‍රතිචාර දක්වමින් විත්තිකාර සජින් වාස් ගුණවර්ධන මහතා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ තමන් එම චෝදනාවන්ට නිවැරදිකරු බවයි. ඉන් අනතුරුව නඩුවේ සාක්ෂි විභාග ආරම්භ වීමට සූදානම් වූ අවස්ථාවේ විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජිවන්ත ජයතිලක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ සාක්ෂිකරුවන් විසින් පොලීසිය වෙත ලබාදී ඇති ප්‍රකාශ 26කට අදාළ පිටපත් තමන් වෙත මේ දක්වා ලැබී නොමැති බව සඳහන් කළේය. විත්තියේ නීතිඥ ජිවන්ත ජයතිලක මහතා- ස්වාමීනි, මෙම නඩුවේ ප්‍රසාද් කුමාර සහ රම්‍යා කුමාරි යනුවෙන් ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනෙකු සිටිනවා. ප්‍රසාද් කුමාර නමැත්තා විසින් රහස් පොලිසියට ලබා දුන් කට උත්තර 21 කට අදාල පිටපත් සහ රම්‍යා කුමාරි නමැත්තිය විසින් ලබාදුන් කටඋත්තර 5 කට අදාල පිටපතේ මේ දක්වා අපට ලැබී නෑ. විත්තිකරුට විත්තිවාචකය ගොඩ නැගීම සඳහා එම කටඋත්තර බෙහෙවින් වැදගත්. මෙම වාතාවරණය මත නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කළහොත් මාගේ සේවාදායකයාට අගතියක් සිදු වන්න පුළුවන්. විනිසුරු ගිහාන් කුලතුංග මහතා - රහස් පොලිසියට ගොස් නිසි මුදල් ගෙවා එම කට උත්තරවල පිටපත් ලබා ගන්නා ලෙස අධිකරණය පසුගිය ජනවාරි මස 20 වනදා නියෝගයක් ලබා දුන්නා. ඇයි ඒ අනුව ඔබ ක්‍රියා නොකළේ ? විත්තියේ නීතිඥ ජිවන්ත ජයතිලක මහතා - ස්වාමීනි, එම කටඋත්තර ලබා දෙන ලෙස අපි රහස් පොලිසිය වෙත ලිපියක් ඉදිරිපත් කළා. විනිසුරු ගිහාන් කුලතුංග මහතා - ලිපි ලියන්න අවශ්‍යතාවයක් නැහැනේ. අධිකරණය ඔබට නියෝග කළේ රහස් පොලිසිය වෙත ගාස්තු ගෙවා අදාල පිටපත් ලබා ගන්නා ලෙස. එහෙත් එම නියෝගයට අනුව ඔබ කටයුතු කර නැහැ. විත්තියේ නීතිඥ නීතිඥ ජිවන්ත ජයතිලක මහතා - ස්වාමීනි, මෙම නඩුව අනවශ්‍ය ලෙස ප්‍රමාද කිරීමට අවශ්‍ය අපට අවශ්‍යතාවයක් නැහැ. අපි විමර්ශන වලටත් නඩු විභාගයටත් පූර්ණ සහය දෙනවා. එහෙත් විත්තිකරුට විත්තිවාචකයක් ගොඩනැගීම සඳහා මෙම කට උත්තර වල පිටපත් ඉතාම වැදගත්. විත්තිය විසින් ඉල්ලා සිටින කටඋත්තර වල පිටපත් ඔවුන්ට ලබා දීමට හැකියාවක් තිබේදැයි මෙහිදී විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිස්ටර් තුසිත් මුදලිගේ මහතාගෙන් විමසන ලදී. එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතා සඳහන් කළේ එම කට උත්තරවල පිටපත් දැනටමත් විත්තිය වෙත ලබාදී ඇති බවයි. එහෙත් එවැනි කටඋත්තර වල පිටපත් තමන් වෙත ලබා දී නොමැති බව විත්තියේ නීතිඥ ජිවන්ත ජයතිලක මහතා අධිකරණය හමුවේ සඳහන් කළේය. කෙසේ වෙතත් විනිසුරුවරයාගේ මැදිහත්වීමෙන් ද අදාළ කටඋත්තර වල පිටපත් පැමිණිල්ල විසින් විත්තියේ නීතිඥවරුන්ට විවෘත අධිකරණයේ දී භාර දෙන ලදී. එහිදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ජීවත්වන ජයතිලක මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් තමන් වෙත ලැබුණු කටඋත්තර වල පිටපත් සංඛ්‍යාව ඉතාම අධික බැවින් ඒවා අධ්‍යයනය කිරීම සඳහා කාලය අවශ්‍ය බව දන්වා සිටියේය. මෙම කටඋත්තර වල සඳහන් කරුණුවලට අදාළව සාක්ෂි මෙහෙයවන්නේ නොමැතිනම් නඩු විභාග ආරම්භ කිරීම සම්බන්ධයෙන් සිය විරුද්ධත්වයක් නොමැති බවද විත්තියේ නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කර සිටියේය. ඒ අනුව පැමිණිල්ල මෙහෙයවන රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතාගේ මෙහෙයවීම යටතේ නඩුවේ සාක්ෂිකරුවකු ලෙස නම් කර සිටින ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරිණි. වසන්ත සමරසිංහ මහතා අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් 2015 වසරේ ජනවාරි මස 8 වන දා සිදු වූ ආණ්ඩු පෙරළියෙන් පසුව පැවති ආණ්ඩුවේ පාර්ශවකරුවන් විසින් සිදුකරන ලද මහා පරිමාණ දූෂණ අක්‍රමිකතා සහ මහජන මුදල් කොල්ල කෑම් වලට අදාළ පැමිණළි සිය ගනනක් තම සංවිධානය වෙත ගලා ආ බව සඳහන් කර සිටියේය. එම තොරතුරු නිසි පරිදි තෝරා බේරාගෙන විමර්ශන සිදුකිරීම සඳහා තම සංවිධානය විසින් විමර්ශන සිදුකරන රජයේ ආයතන වෙත යොමු කළ බවද සාක්ෂිකරු සඳහන් කර සිටියේය. ඒ අනුව විත්තිකාර සජින් වාස් ගුණවර්ධන හිටපු මන්ත්‍රීවරයාට එරෙහිව තම සංවිධානයට ලැබුණු මෙම නඩුවට පාදක වන දූෂණ ක්‍රියාව පිළිබඳ තොරතුරු විමර්ශන පැවැත්වීම සඳහා 2015 වසරේ ජනවාරි මස 30 වනදා ලිඛිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමා විසින් යොමුකළ බව ද සාක්ෂිකරු අධිකරණය හමුවේ පිළිගත්තේය. එම පැමිණිල්ලට අදාළව එම වසරේ පෙබරවාරි මස 4 වනදා තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදුන් බවද සාක්ෂිකරු සඳහන් කළේය. ඉන් අනතුරුව විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජීවන්ත ජයතිලක මහතා මතු කළ හරස් ප්‍රශ්න වලට සාක්ෂිකාර වසන්ත සමරසිංහ මහතා පිළිතුරු ලබා දුන්නේය. විත්තියේ නීතිඥ ජිවන්ත ජයතිලක මහතා - මෙම පැමිණිල්ලේ ඔබ සඳහන් කර තිබෙනවා, මාගේ සේවාදායකයා සමාගම් ගණනාවක සභාපතිවරයා ලෙස කටයුතු කරන බව. මෙම කරුණ තහවුරු කර ගෙන ද ඔබ පැමිණිල්ල පොලිසියට ඉදිරිපත් කළේ ? සාක්ෂිකාර වසන්ත සමරසිංහ මහතා-අප සංවිධානයට ලැබුණු තොරතුරු තමයි පැමිණිලි වශයෙන් ඉදිරිපත් කළේ. විත්තියේ නීතිඥ ජීවන්ත ජයතිලක මහතා - ඒ කියන්නේ මේ පැමිණිල්ල ඉදිරිපත් කිරීමට පෙර මාගේ සේවාදායකයා ඔබ සඳහන් කර තිබෙන සමාගම්වල සභාපති වරයා ලෙස කටයුතු කළාද? කියලා සමාගම් රෙජිස්ටාර් කාර්යාලයෙන් සොයා බැලුවේ නැහැ. සාක්ෂිකාර වසන්ත සමරසිංහ මහතා -එවැනි සොයා බැලීමක් සිදු කළේ නැහැ. අපගේ සංවිධානය පරීක්ෂණ සිදු කරන සංවිධානයක් නෙමෙයි. අපට ලැබෙන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ තොරතුරු පොලිසිය වෙත ඉදිරිපත් කිරීම පමණයි අපි කළේ. ඉන් අනතුරුව වසන්ත සමරසිංහ මහතාගේ සාක්ෂි සටහන් කර ගැනීම අවසන් කෙරිණි. වැඩිදුර සාක්ෂි විභාගය හෙට (27) දිනට කල් තැබිණි. 2011 වසරේ සිට 2014 යන වසර දක්වා කාලසීමාව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ක්‍රියා කරමින් සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් කෝටි 30 කට අධික වත්කම් සහ මුදල් අයථා ලෙස උපයා ගැනීම මගින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට නීතිපතිවරයා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ. (අධිකරණ වාර්තාකරු )
 

More News..