brand logo

තට්ට හිසට නොවරදින පිළියමක්

08 October 2020

ශරීරයේ ප්‍රධානතම කොටස හිසයි. හිසෙහි පෙනුම අපගේ පෞරුෂත්වය කෙරෙහි තදින්ම බලපායි. හිසෙහි ආරක්ෂාව හා ලස්සන පවත්වා ගැනීමට කෙස් හේතු වේ. පිරිමින්ට තට්ටය ගැටලුවක් නොවූවද කාන්තාවන්ට කෙස්වැටිය ඉතා වැදගත් වේ. කෙස් පිළිබඳව විවිධ වර්ණනා කිරීම් බොහෝ කවියන් විසින් සිදුකර ඇත. ශරීරයෙහි කෙස් වැටීම ස්වාභාවික දෙයකි. එය දිනකට 50-60 පමණ ප්‍රමාණයකි. නමුත් ඊට වැඩියෙන් හිසෙන් කෙස් ඉවත්වේ නම් ඒ පිළිබඳව අප සලකා බැලිය යුතුය.

මෙයට හේතු

 මෙයට ප්‍රධානව ශරීරයේ ප්‍රකෘතිය බලපායි. පිත්තජ ප්‍රකෘතිය සහිත පුද්ගලයන්ගේ බොහෝ විට ශරීරයේ හිසකෙස් වැටීම වැඩිය. එසේම පරම්පරාව අනුවද තට්ටය පෑදීම සිදුවිය හැකිය.  සමේ රෝග ලෙස හිස්හොරි ඇති අයගේ හිසකෙස් යාම වැඩිය. හිස්හොරි නිසා කේශ මූලයට ලැබෙන පෝෂණය අඩුවීම මෙයට හේතුවිය හැකිය.  වයස්ගත වීමද හිසකෙස් වැටීම වැඩි කරයි. කාන්තාවන්ගේ ආර්ථව හරණය වීමද හිසකෙස් යාම වැඩි කිරීමට හේතුවකි.  සමහර දීර්ඝකාලීනව පවතින පිළිකා වැනි රෝග නිසාද මෙම තත්ත්ව ඇතිවේ. එසේම එම රෝගවලදී ලබාදෙන ප්‍රතිකාර නිසාද හිසකෙස් යාම වේගවත් කරයි.  හිසෙහි හා සමෙහි ඇතිවන සොරුසිස් (Psoriasis) වැනි රෝගද මෙවැනි තත්ත්වවලට බලපායි.  මානසික ආතතියද මෙවැනි තත්තවලට බලපායි. මානසික ආතතිය නිසා ශරීරයේ සප්ත ධාතු දූෂණය නිසා පෝෂණය නියමාකාරයෙන් සමට නොලැබේ. එවිට කේශයන්ගේ මූලයන්ට පෝෂණය නොලැබේ.  අප දීර්ඝකාලීනව උෂ්ණාධික ආහාර ලබාගැනීමද මේ සඳහා බලපායි. රඹුටන්, දූරියන්, තක්කාලි වැනි ආහාර දීර්ඝකාලීනව බහුලව ගැනීම අහිතකරය.  වැරදි ආකාරයට කරන ලද ශිර්ෂ සම්බාහනයන්ද මෙයට හේතුවේ. ප්‍රකෘතියට නොගැළපෙන තෙල් වර්ග භාවිත කර ඉතා තදින් ශිර්ෂ සම්බාහනය කිරීම මගින් හිසෙහි සමට හා කේශ මූලවලට හානි සිදුවීම නිසා හිසකෙස් යාම වේගවත් වේ.  හිසකෙස් අලංකාර කිරීම සඳහා යොදාගන්නා ඩයි වර්ග, හිස සේදීම සඳහා යොදන විවිධ ෂැම්පු වර්ගද හිසෙහි කෙස් ගැලවීම උත්තේජනය කරයි. මේවායෙහි පවතින විවිධ රසායනික සංයෝග හිසට හා සමට ඉතා අහිතකරය.  අප හිස සේදීම සඳහා දිනපතා උණුසුම් ජලය භාවිත කිරීමද හේතුවකි.  අධිකව ක්ලෝරීන් යොදා පිරිසුදු කරන ලද ජලය ස්නානය කිරීමද මෙයට හේතුවකි.  අවශ්‍ය පෝෂණීය ආහාර නොගෙන දරුවන්ට කිරි දීමද මව්වරුන්ගේ හිසකෙස් වැටීමට හේතුවකි.  විටමින් ‘බී’, යකඩ, කැල්සියම්වල ඌනතා නිසාද හිසකෙස් වැටීම වේගවත් වේ.  සෙංගමාලය, ඩෙංගු වැනි රෝග තත්ත්ව ඇතිවී පැවතීමද කෙස් අකලට යාමට හේතුවකි.

වැළකීමට

 දිනපතා පිරිසුදු සිසිල් ජලය ස්නානය කරන්න.  හොඳ පිරිසුදු වස විසවලින් තොර ආහාර රටාවකට පුරුදු වන්න.  තල, කඩල, කව්පි, මුංඇට, කොල්ලු වැනි දේ ආහාරයට එක්කර ගන්න.  මුකුණුවැන්න, ගොටුකොළ, නිවිති, රතු තම්පලා ආහාරයට පුරුදු වන්න.  පිරිසුදු පලතුරු දිනපතා ආහාරයට ගන්න.  හිසට හා හිසකෙස්වලට අනවශ්‍ය මෝස්තර යෙදීමේදී කල්පනාකාරී වන්න. අනවශ්‍ය ජෙල් වර්ග, ඩයි වර්ග, තෙල් වර්ග භාවිත නොකරන්න.  අධික උණුසුම් ජලය ස්නානය නවත්වන්න. සිසිල් ජලය භාවිත කරන්න.  දිනපතා අවශ්‍ය නින්ද ලබාගන්න.  වෙනත් අය භාවිත කරන හෙල්මට්, කැප් වැනි දේ භාවිත නොකරන්න.

ප්‍රතිකාර

 මෙහිදී ප්‍රකෘතිය, රෝග හේතුව බලා ප්‍රතිකාර නියම කිරීම සිදුකළ යුතුය. නමුත් පොදුවේ සෑම පුද්ගලයකුම රක්ත ශෝධන ප්‍රතිකාර ලෙස මාස හයකට වරක්වත් විරේචන කර්ම කරගත යුතුය. එමගින් අග්නිය යථාවත් කළ හැකි අතරම ශරීරයේ පෝෂණ ක්‍රියාවලිය ක්‍රමවත් වේ.  මේ සඳහා අවශ්‍ය නම් අභ්‍යන්තරික ඖෂධ ලෙස ගුලි, කල්ක, ආසව වර්ග මෙන්ම කෂාය වර්ගද භාවිත කරයි. නමුත් ඒවා පිළිගත් වෛද්‍යවරයකු මාර්ගයෙන් නියම කරගත යුතුය.  කටු චිකිත්සාවද මෙයට ඉතා හොඳ ප්‍රතිකාරයකි.  සරල ශිර්ෂ සම්බාහන ක්‍රම මගින්ද මෙය වළ්කවා ගැනීමට උපයෝගි කරගත හැකිය. පිරිසුදු පොල් තෙල් හෝ ඖෂධීය තෙලක් හිසෙහි උදේ 10.00ට පමණ ගල්වන්න. හිස වටා ක්‍රමානුකූලව තමාගේ ඇඟිලි උපයෝගි කරගනිමින් සෑම කෙස්ගසක් මුලටම මෘදු සම්බාහනයක් ලබාදෙන්න. මෙය විනාඩි 15ක් පමණ මෘදුව සිදු කරන්න. ඊට පසු හොඳ සුදු තුවායක් රත්කර හිස වටා ඔතන්න. එය විනාඩි 40-45 පමණ කාලයක් තබාගන්න. ඊට පසු ඉවත් කරන්න. ඉවත් කර පැයකට පමණ පසු සිහිල් ජලයෙන් ස්නානය කරන්න.
 

More News..