brand logo

තට්ටෙයි දණහිසයි ගැට ගැසීම

02 March 2019

පොලිස් රාලහාමිලා දෙදෙනෙක් වෙල් එළි දිගේ බඩ ගා මඩ කඩිතිවල එරි එරී ගොස් හොර කසිප්පු බූලියක් සොයා ගත් විට පසුදා පත්තරයේ ඒ පුවත පළවන්නේ පහත ආකාරයටය. ‘‘නි​යෝජ්‍ය පොලිස්පතිගේ උපදෙස් මත පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිගේ අධීක්ෂණයෙන්, අධීක්ෂණයෙන්, සහකාර පොලිස් අධිකාරිගේ අනුදැනුම ඇතිව, පොලිස් ස්ථානාධිපතිතුමාගේ විධානයෙන්, උප පොලිස් පරීක්ෂකතුමාගේ මෙහෙයවීමෙන්, සාජන් පුඤ්ඤසෝම නීති විරෝධී මත්පැන් තොගයක් අත්අඩංගුවට ගන්නා ලදී.’’ මේ පිරිසේ නාමාවලියට දැන් තවත් නම් දෙකක් එකතු කරන්නට සිද්ධ වෙන තැනට වැඩ කටයුතු සැලසී තිබේ. ඒ මෙසේය. ‘රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාගේ සංකල්පයක් අනුව 19 වැනි සංශෝධනයෙන් බලය පැවරුණ පොලිස් කොමිසම නිසාය’ කියාය. මෙබඳු කොටසක් එකතු කරන්නට සිදු වන්නේ වෙන කිසිවක් නිසා නොව දැන් පොලිසියට කුඩු අල්ලන්නට හැකි වී ඇත්තේ තමන් ගෙනා 19 වැනි සංශෝධනය නිසා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසූ නිසාය. දහනව වැනි සංශෝධනය ගෙනැවිත් පොලිස් කොමිසම ස්වාධීන කළ බවත්, ඒ අානුභාවයෙන් දේශපාලනඥයන්ට පොලිසියට කතා කරන්නට තිබෙන ඉඩ ඇසිරීම නිසා දැන් පොලිසිය මත්ද්‍රව්‍ය උවදුර තුරන් කරන්නට සැදී පැහැදී, කැපවී සිටින බවත් එතුමා ජනතාවට පැහැදිලි කර දී ඇත. ස්වාධීන පොලිස් කොමිසමක් පත් කිරීම නිසා දැන් රටේ පොලිස් නිලධාරීන් නිවී සැනසිල්ලේ නිසංසලේ රාජකාරි කරති. ඔවුනගේ කොන්ද දැන් කෙළින්ය. ඒ අනුව දැන් ශ්‍රී ලංකා පොලිසියේ රාජකාරි කරන්නේ සර් ජෝන් කොතලාවලගේ පියාගේ පන්නයේ පොලිස්කාරයන්ය. සර් ජෝන්ගේ පියා පොලිසියේ රාජකාරි කරද්දී අධිරාජ්‍යවාදී සුද්දන්ට බය නැතිව පහර දුන්නේය. කොටහේනේ රාජකාරි කරන කාලයේ ආණ්ඩුවත් බය කරගෙන කොස්ගස් හන්දියේ පවත්වාගෙන ගියා නෙයිනාගේ සූදු පිටිය වටලා සේදවත්තේ ජෝන් නම් චණ්ඩියා ඇතුළු බලවත් හයිරංකාරයන් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කළේ ය. එතරම් බලවත් නෙයිනා වෙනුවෙන් පොලිසියට කතා කරන්නට, ඇප දෙන්නටවත් සර් ජෝන්ගේ තාත්තා නිසා කිසිවකු ඉදිරිපත් වූයේ නැත. අන්තිමේ කොතලාවල තම අතින් මුදල් ගෙවා ඇප දී වරදකරුවන් නිදහස් කරගෙන කෙසෙල්වත්ත පිට්ටනියට ගෙනැවිත් පන්සිල් දී දුසිරිතයෙන් වළකින්නට ඔවා දී එය මතක් වෙන්නට කනට පහරක් ද දී යන්නට හැරියේය. දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ලැබුණ පොලිස් බලතල අනුවද කොතලාවල ජාතියේ පොලිස් නිලධාරින් බිහි වූ ආකාරයක් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි. එහෙත් එය එසේ වීද? පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ තෙබුවන පොලිසියේ සාජන් ටී. 56 ගිනි අවියක් ගෙන නගරය දෙවනත් කළේ තමන් ඇල්ලූ නීති විරෝධී වැලි ලොරියක් බලවතකුගේ කීමට ඉහළ නිලධාරින් නිදහස් කොට ගෙදර යැවීමට එරෙහිවය. තම ගිනි අවියෙන් තමන්ට වෙඩි තබා ගන්නට සූදානම් වී යුක්තිය ඉටු කර ගන්නට සාජන්වරයාට සිදු වූයේ 2015 අප්‍රේල් 28 වැනිදා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවට පසුවය. එදා තෙබුවනදී නීතිය ඉටුකර ගැනීමට දිවි දෙන්නට සූදානම් වූ පොලිස් නිලධාරියාගේ රස්සාවද, කෝට් එකද බලවතුන්ගෙන් බේරා ගන්නට පුළුවන් වූයේ ජනාධිපතිවරයාගේ මැදිහත් වීම නිසාය. පොලිස් ස්වාධීන කොමිසම් සභාවක් පිහිටු වූවාට පසුව වැලි ලොරියේ සිට කුඩු ලොරි කීයක් නම් බලවතුන්ගේ ඇඟිලි ගැසීම් යටතේ පාරේ දුවන්නට ඇද්ද? අග්‍රාමාත්‍යවරයා දහනව වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආනුභාවය ගැන කියා පැය හැත්තෑ දෙකකට වඩා ගත වූයේ නැත. ස්වාධීන පොලිස් කොමිෂන් සභාවල සේම අග්‍රාමාත්‍යවරයාගේද සියලු අනුබලය සානුබලය ලද එෆ්සීඅයිඩීයේ ප්‍රධානියා විශ්‍රාම යන්නට දින තිහක් තිබියදී විශ්‍රාම ගැන්වූ පුවත ප්‍රචාරය කෙරිණ. ඔහු විශ්‍රාම ගැන්වූයේ බලවතුන්ගේ වංචා, දූෂණ සැඟවීමට ඉඩදී සිටියේය. යන හේතුව සහිතවය. රටේ මහා පරිමාණ දූෂණ සොයන්නට පත්කළ පොලිස් ප්‍රධානියාද, දූෂණය වී තිබුණේ ස්වාධීන කොමිෂන් සභා පත් කළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළාට පසුවය. එසේම 19 වැනි සංශෝධනයෙන් පොලිස්කාරයන්ගේ කොන්ද කෙළින් කළේ නම් මේ වන විට ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළ තැනැත්තා හිරබත් කෑ යුතුය. බැඳුම්කර මහ මොළකරු ජම්පරයක් හැඳ සිටිය යුතුය. නොගැළපෙන දේවල් සම්බන්ධ කර කතා කරනවාට දෙමළෙන් කියමනක් වෙයි. ඒ තට්ටෙයි දණහිසයි ගැට ගසනවා වාගේ කියාය. පළාත් සභාවලට පොලිස් බලතල ඉල්ලා සටන් කරන උතුරේ දෙමළ ජනතාවගේ කියමනක් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හා කුඩු ඇල්ලීම සම්බන්ධ කරමින් රනිල් කළ කතාවට ගැළපීමට ලැබීම අපූරුව දෙයක් නොවන්නේද?
 

More News..